මැතිවරණ වියදම් පාලන පනත ජනපති ට

මැතිවරණ ප්‍රචාරණ වියදම් සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමුකළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගත යුතු බවය.

ඡන්ද විමසීමක් පැවැත්වීමේ දී තරග කරනු ලබන අපේක්ෂකයින් හෝ දේශපාලන පක්ෂ මනාප ලබා ගැනීම වෙනුවෙන් අසීමාන්තිකව කරනු ලබන වියදම් පාලනය කිරීම මෙම නව පනතේ අරමුණ වී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ අදහස් සහ යෝජනා අනුව නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් සකස් කොට ඇති නීතිපතිවරයාගේ එකඟතාව හිමිවූ මෙම පනත් කෙටුම්පත මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව විසින් ද නිර්දේශ කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මැතිවරණ වියදම් පාලනයට නීති හඳුන්වාදීම, කාන්තා හා තරුණ නියෝජනය ශක්තිමත් කිරීම, තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන එහෙත් මැතිවරණ දිනයේ රාජකාරී සිදුකරන පිරිසට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පහසුකම් සැලසීම මෙම පනත මගින් සිදුකර තිබේ.

මහජන නියෝජිතයින් සඳහා ආචාරධර්ම පද්ධතියක් නීතිගත කිරීම, මැතිවරණ පැමිණිලි කඩිනමින් විසඳීම සඳහා මැතිවරණ විනිශ්චය සභාවක් ඇතිකරලීම ඇතුළු කරුණු 07ක් පිළිබඳව මෙම පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.