ශ්‍රී ලංකාවට අමෙරිකාවේ අඛණ්ඩ සහාය

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකා එක්සත් ජනපදය අඛණ්ඩව සහාය ලබාදෙන බව මෙරට අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය යළිත් අවධාරණය කර තිබේ.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඇය පෙන්වා දෙන්නේ ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් ඊයේ (26) දිනයේදී පැවැත්වූ බවය.

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින රෝමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආහාර හා කෘෂිකාර්මික ආයතනයේ අමෙරිකානු තානාපති සින්ඩි මැකේන් මහත්මිය ඊයේ දිනයේදී විදේශ ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමග අදාළ සාකච්ඡා පවත්වා ඇති බව සඳහන් වේ.

එහිදී ශ්‍රී ලංකාවේ ජනතාව වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ දීර්ඝකාලීන කැපවීම යළි තහවුරු කළ බව අමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ තිරසාර කෘෂිකර්මාන්තය සඳහා සහයෝගය ලබාදෙන බවට එහිදී සින්ඩි මැකේන් මහත්මිය ප්‍රකාශ කර තිබේ.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගී වී සිටින විදේශ කටයුතු අමාත්‍ය නීතීඥ අලි සබ්රි මහතා සහ ඉරාන විදේශ අමාත්‍ය Hossein Amir-Abdollahian අතර සුහද සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා විය.  

දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව විදේශ කටයුතු අමාත්‍යවරයා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

රාජ්‍යයන් දෙක අතර අවබෝධතා ගිවිසුමක් මගින් බොරතෙල් අනයනය කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති බව සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.