නිවසක් කුලියට ගන්න වගේ ඇවිත් කළ අපරාධය

රන්භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියකට එකම පවුලේ සාමාජිකයින් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයින් 5දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් පේරාදෙණිය, පිළිමතලාව සහ දොම්පේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකුද සිටී.

ඔවුන් වයස අවුරුදු 17ත් 50ත් අතර වයස්වල පසුවන බව පොලීසිය වැඩිදුරටත් පවසයි.

කුලියට නිවසක් ලබාගන්නා මුවාවෙන් තලවතුගොඩ ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී මෙලෙස රන්භාණ්ඩ කොල්ලකා ඇතිබවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

එහිදී එම නිවස හිමි කාන්තාවට පිහියක් පෙන්වා බිය ගන්වා පහරදී තුවාල සිදුකර ඇයට නිදිපෙති ලබාදී ඇති බවද පොලීසිය පවසයි.

එම පිරිස මීට වසරකට පමණ පෙර අදාළ කාන්තාවට අයත් කඩ කාමරයක් කුලියට ගෙන එහි ආපන ශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.

එහිදී සොරාගන්නා ලද රන් භාණ්ඩවලින් කොටසක් මරදාන ප්‍රදේශයේ රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණා ඇත.

අනතුරුව තවත් කොටසක් පේරාදෙණිය ප්‍රදේශයේ පිහිටි උකස් ආයතනයකට උකස්කර මුදල් ලබාගෙන ඇති බව හෙළිවී ඇති බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සඳහා මෙම පිරිස තලංගම පොලීසියට භාරදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය.

Leave a Reply

Your email address will not be published.