ආනයන වියදම අඩුවෙයි

2021 වසරේ ජුලි මාසයට සාපේක්ෂව මේ වසරේ ජුලි මාසය වනවිට ආනයන වියදම 25%කින් අඩු කරගැනීමට හැකිවී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

2021 වසරේ අගෝස්තු මාසයට සාපේක්ෂව මේ වසරේ අගෝස්තු මාසයේ දී අපනයන ආදායම 90%ක වර්ධනයක් පෙන්නුම් කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

2022 අගෝස්තු 31 වනවිට රටේ සමස්ත ආදායම රුපියල් බිලියන 1,232.4ක් ලෙස සටහන් වී තිබේ. එම කාලය තුළ රටේ සමස්ත වියදම ලෙස සටහන් වී ඇත්තේ රුපියල් බිලියන 3,539කි. 

දැනට 8%ක මට්ටමේ පවතින දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11% දක්වා ඉහළ නැංවිය යුතු බව අවධාරණය කරන අමාත්‍යවරයා එහිදී රටේ අඩු ආදායම්ලාභී ජනතාවට කිසිදු අතිරේක පීඩනයක් එල්ල විය යුතු නැති බවද කියා සිටියේ ය. 

ඒ අනුව අවම වශයෙන් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 400කින් පමණ ඉහළ නංවා ගැනීමේ අභියෝගය රට හමුවේ පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. 

අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ භාණ්ඩ ආනයන සඳහා පැනවූ සීමාවන් හේතුවෙන් මේ වනවිට ආනයන වියදම අඩුවීම ප්‍රතිශතාත්මකව ඉහළ යමින් පවතින බවය. 

Leave a Reply

Your email address will not be published.