දරුවන්ගේ මරණවලට හේතුවූ ඉන්දීය ඖෂධය ලංකාවට ගෙනත් නෑ – සෞඛ්‍ය ඇමති

ගැම්බියාවේ දරුවන් පිරිසකගේ මරණයට හේතුවූ බව පැවසෙන ඉන්දීය ඖෂධ ශ්‍රී ලංකාවට පැමිණ නැතැයි සහතික වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද (06) සඳහන් කළේය.

ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධ වර්ග 4ක් නිසා ගැම්බියාව තුළ ළමා මරණ රැසක් සිදුවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා අනාවරණ කළේය.

ඒ අනුව ඉන්දියාවේ මේඩන් ෆාමසියුටිකල්ස් සමාගම නිපදවන ඖෂධ 4 කට අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා පියවර ගත්තේය.

පසුගිය ජූලි මාසයේ සිට වකුගඩු ආබාධ හේතුවෙන් ගැම්බියාවේ ළමා මරණ 66ක් සිදුවීම සහ එම ඉන්දීය සමාගම නිපදවූ, කැස්සට සහ සෙම්ප්‍රතිශ්‍යවට ලබාදෙන දියර ඖෂධ සහ එම මරණ අතර සබඳතාවක් ඇතැයි නිරීක්ෂණය වීම ඊට හේතුවය.

මේඩන් ෆාමසියුටිකල්ස් සමාගම නිපදවූ එම ඖෂධවල ‘අනුමත ප්‍රමාණය ඉක්මවා’ ඩයිඑතිලීන් ග්ලයිකෝල් සහ එතිලීන් ග්ලයිකෝල් නම් සංයෝග අන්තර්ගත වී තිබූ බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ රසායනාගාර වාර්තාවෙන් පසුගියදා තහවුරු විය.

එම වාර්තාවෙන් අවධාරණය කර තිබුණේ අධි මාත්‍රික එම සංයෝග මගින් මිනිස් වකුගඩුවලට හානි සිදුවන බවය.

මේ නිසා අවදානම් බවට හඳුනාගත් ඖෂධ නිෂ්පාදන හතරම වහාම ගැම්බියාවේ වෙළෙඳපොළෙන් ඉවත් කරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය දන්වා තිබුණි.

නමුත් දැනට ගැම්බියාවේ පමණක් නීත්‍යනුකූලව අලෙවි කර ඇති එම ඖෂධ අවිධිමත් වෙළෙඳපොළ හරහා වෙනත් රටවල බෙදා හැර තිබිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව පවසන්නේ මතභේදයට තුඩු දී ඇති ඖෂධ නිපදවා ඇත්තේ, ගැම්බියාව සඳහා පමණක් බවය.

නමුත් මේ අනාවරණයත් සමඟ ‘ලෝකයේ ඔසුසල’ ලෙස ප්‍රකට ඉන්දියාවේ ප්‍රතිරූපයට සිදුව ඇත්තේ ප්‍රබල හානියකි.

මතුව ඇති තත්ත්වය යටතේ මෙම මතභේදාත්මක ඖෂධවල අවදානම ශ්‍රී ලංකාවට එල්ල විය හැකිද යන්න සම්බන්ධයෙන් අප සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගෙන් විමසීමක් කළේය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ,

“අපි ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂාවක් ක්ෂණිකව සිදුකළා. ලංකාවේ එවැනි බෙහෙතක් ගෙනත් නෑ කියන පිළිතුර එහිදි අපිට ලැබුණා. එහෙම ගේන්න බලාපොරොත්තුවකුත් නැහැ.”

Leave a Reply

Your email address will not be published.