බිරිඳගේ වකුගඩු බද්ධයට රුපියල් ලක්ෂ 6ක් නොමැතිව සැමියෙක් අසරණ වෙයි

දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන තම බිරිඳගේ වකුගඩු බද්ධ කිරීම සඳහා රුපියල් ලක්ෂ 06ක මුදලක් සොයාගැනීමට ගෙයින්ගෙට ඇවිද යන තරුණ සැමියෙකු පිළිබඳ පුවතක් බකමුණ ඔරුබැඳි සියඹලාව ප්‍රදේශයෙන් වාර්තා විය.

ඔහු කේ. සුරංග සම්පත් නම් 29 හැවිරිදි එක්දරු පියෙකි.

ඉරේෂා සඳමාලි නම් 28 හැවිරිදි තම ආදරණීය බිරිඳ දරුණු වකුගඩු රෝගයකට ගොදුරුවී ඇති බව සුරංග දැනගන්නේ මීට වසර කිහිපයකට ඉහතදීය.

ඒ මොහොතේ සිට මේ දක්වාම සිය බිරිඳගේ ජීවිතය බේරාගැනීමේ අරමුණින් සුරංග දැඩි උත්සාහයක නිරත වෙමින් සිටී.

සිය දරුවාගේ පෙරපාසල් ගමනද නවතා දැමීමට සිදුවී ඇත්තේ ඔවුන්ගේ ජීවිතය තුළ ඇති දැඩි ආර්ථික අපහසුතාවයන් හේතුවෙනි.

රෝගී බිරිඳගේ තනියට සිය පුතු නවතා සුරංග රට පුරා ඇවිද යන්නේ බිරිඳගේ වකුගඩු බද්ධයට අවශ්‍ය මුදල් එකතු කරගැනීමේ අරමුණින්ය. 

එහෙත් බොහෝ නිවාසවලින් සුරංගට ලැබෙන්නේ ඇනුම් බැණුම් සහ අපහාසයන්ය.

ඉරේෂා සඳමාලි කියා සිටියේ මේ වනවිට සිය වකුගඩු දෙක 8%ක පමණ ප්‍රමාණයක් ක්‍රියාත්මක වන නිසා කඩිනමින් වකුගඩු බද්ධය සිදුකිරීමට අවශ්‍ය බව වෛද්‍යවරුන් පවසන බවය.

ඉරේෂාගේ රෝගී තත්ත්වය උත්සන්න වේ යැයි සුරංග තුළ ඇති බිය නිසා ඔහු නිවසෙන් පිටවීමට පෙර නිවසේ සියලු වැඩකටයුතු පවා සිදුකරන බවද ඉරේෂා පවසයි.

ඉරේෂාට සිය පියාගේ වකුගඩුවක් බද්ධ කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම්කර ඇතත් එම සැත්කම ප්‍රමාද කිරීමට සිදුවී ඇත්තේ ඊට අවශ්‍ය රුපියල් ලක්ෂ 6ක මුදල සොයාගැනීමට සිහිනයක් වී ඇති නිසාය.

රට පුරා ඇවිදගිය සුරංග මේ වනවිට රුපියල් 10,000ක මුදලක් පමණක් සොයාගෙන ඇති බවත් ඉන්ද රුපියල් 4,000ක් ප්‍රතිකාර සඳහා වියදම් වී ඇති බව ඉරේෂා කඳුළු සලමින් පැවසුවාය.

සුරංග විවාහවීමට පෙර යුද හමුදාවේ සේවය කර ඇති අතර විවාහවී බිරිඳට දරුවා ලැබීමෙන් පසු ඔවුන් දෙදෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් යුද හමුදාවෙන් ඉවත් වී තිබේ.

ඉන් පසුව සිය පවුල් ජීවිතය වෙනුවෙන් විවිධ කුලීවැඩ කරමින් මුදල් උපයා ඇති සුරංගට මේ වනතෙක් ස්ථීර රැකියාවක් ලැබී නොමැත.

මෙම අසරණ පවුලට උදව් කිරීමට හැකියාවක් ඇත්නම් පහත තොරතුරු ඔස්සේ ඔවුන්ව සම්බන්ධ කරගත හැකිය


ලිපිනය
කේ. සුරංග සම්පත්.
අංක 2/55,
ඔරුබැඳි සියඹලාව,
බකමූණ.

දුරකථන අංකය – 070 1286358

ගිණුම් අංකය 89357852
ලංකා බැංකුව
බකමූණ ශාඛාව
පී. එම්. ඉරේෂා සඳමාලි කුලරත්න

Leave a Reply

Your email address will not be published.