අධික වැසි හේතුවෙන් ආපදා මරණ දෙකක්

පවතින අධික වර්ෂාවත් සමග ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවත් පිටිගල සහ කිරිඇල්ල ප්‍රදේශවලින් පුද්ගල මරණ 02ක් වාර්තා වෙයි. 

පිටිගල පොලිස් වසමේ බංගමුකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු යතුරුපැදියෙන් ගමන්කරමින් සිටියදී කලුදිය පොකුණ ඇළට වැටී ජීවිතක්ෂයට පත්වී ඇත.

පැවති අධික වර්ෂාව හේතුවෙන් ඇළ පිටාරගැළීම නිසා ගමන් කිරීමට ඇති පාලම යටවීම හේතුවෙන් ඔහු මෙලෙස අනතුරට ලක්වී තිබේ.

කිරිඇල්ල මුනිහින් කන්ද රජමාවත මාර්ගයේ ගමන් කළ පුද්ගලයකු කළු ගඟ ආසන්නයේ ඇළකට වැටී ජීවිතක්ෂයට පත්වී ඇති බවද වාර්තා විය.

මියගිය පුද්ගලයා කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැති බව කිරිඇල්ල පොලීසිය පවසයි.

වරකාපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුඹලියද්ද, මායිම්ඔළුව ප්‍රදේශයේ දෙමහල් නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු ද පස්කන්දට යටවී තිබුණි.

ප්‍රදේශවාසීන් සහ ආරක්ෂ අංශ එක්වී එක් පුද්ගලයෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර අතුරුදන්වූ සෙසු තිදෙනා සොයා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

අද (14) උදෑසන 6න් අවසන් වූ ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය වාර්තා වූයේ කළුතර මතුගම ප්‍රදේශයෙනි.

එය මිලිමීටර් 264 කි.

වැලිමඩ ප්‍රදේශයට ඇද හැළුණු අධික වැසි හේතුවෙන් මහ ඔයේ ජල මට්ටම පිටාර ගැලීම නිසා පිටපොළ – එළමල් අරාව මර්ගය ජලයෙන් යටවී තිබුණි. 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කළේ, මෙම වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු වියහැකි බවය. 

කෙසේ වෙතත් අධික වැසි පතිත වුවත් මෙතෙක් ප්‍රධාන ගංගා කිසිවක් ගංවතුර මට්ටමට පැමිණ නොමැති බවද වාර්තා වෙයි. 

මේ අතර අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ඒ කොළඹ, කළුතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහාය. 

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහාත් ඉදිරි පැය 24 සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල, ඇහැළිගොඩ, ඇලපාත, රත්නපුර, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දෙහිඕවිට, දැරණියගල සහ රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණි.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර ඉන් රතු නිවේදන නිකුත් කර ඇත්තේ ඉංගිරිය, වලල්ලාවිට,පාලින්දනුවර සහ බුලත්සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාය.

මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටත් නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.

Leave a Reply

Your email address will not be published.