අපට ආහාර, ඖෂධ ආධාර දෙන්න..- ශ‍්‍රී ලංකාව රතු කුරුසයෙන් ඉල්ලයි..

පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් විපතට පත් වැඩි පිරිසකට ආහාර බෙදා හැරීමේ වැඩසටහන් සහ ඖෂධ මෙන්ම අතිරේක ආධාර ලබාදෙන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයෙන් ඉල්ලයි.

ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ (IFRC) ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතියෝ මහතා 2022.10.13 දින කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කරනු ලැබීය.‍

ජාත්‍යන්තර රතු කුරුස සම්මේලනයේ (IFRC) ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ වරයා මෙහිදී සඳහන් කලේ ශ්‍රී ලංකාවේ මානුෂීය ආධාර වැඩසටහන් වැඩිදියුණු කිරීම සඳහා තම සංවිධානය ධනවත් පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කරන බව සහ මානුෂීය ආධාර වැඩසටහන් වැඩිදියුණු කිරීමේ හැකියාව පිළිබඳව ද සොයා බලන බවයි.

සුනාමි, ගංවතුර සහ නියඟය වැනි ස්වභාවික විපත්වලදී මෙන්ම ආර්ථික දුෂ්කරතාවලදීද රතු කුරුස සංවිධානය හ්‍රී ලංකාවට ලබා දුන් සහය පිළිබඳව අග්‍රාමාත්‍ය වරයා මෙහිදී සිය ස්තූතිය පුද කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති ජගත් අබේසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අරුණ ලේකම්ගේ, යන මහත්වරු ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.