පරිත්‍යාග වශයෙන් ලැබෙන ඖෂධ බොහොමයක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ…

මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග වැඩි සංඛ්‍යාවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යවශ්‍ය ඒ්වා නොවන බවත්, එක් ඖෂධ වර්ගයක් සඳහා සන්නාම විශාල ප්‍රමාණයකින් ඖෂධ ආනයනය කිරීම නිසා ඒ් පිළිබඳ නිසි නියාමනයක් සිදු නොවීමත් විශාල ගැටළුවක් බවට පත්ව ඇති බව ද ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේ දී සාකච්ඡාවට බඳුන් විය.

ඒ් නිසා මෙරට ජනතාවගේ ඖෂධ අවශ්‍යතාවය සහ එය සපුරාලීමට අත්‍යවශ්‍ය ඖෂධ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා කොවිඩ් 19 වසංගත සමයේ පැවති ආකාරයේ ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් නැවත ස්ථාපනය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

ආර්ථික ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් (14) රැස් වූ අවස්ථාවේ දී මෙම කරුණු සාකච්ඡා වූ අතර, විශේෂඥ වෛද්‍යවරුන්, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු අදාළ අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල නිලධාරීන් මෙන්ම මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ද මේ සඳහා එක්ව සිටියහ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සාමාජික සහ ජාතික වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සහ කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති යන මහත්ම මහත්මීන් සිය විශේෂඥ දැනුම කමිටුව වෙත ලබාදෙමින් කරුණු දැක්වීම් සිදු කරන ලදී.

ඖෂධ භාවිතා කිරීමේ දී සහ නිර්දේශ කිරීමේ දී ඇතිව තිබෙන යම් යම් හිඟයන් වළක්වා ගැනීම සඳහා විවිධ විකල්ප ක්‍රියාමාර්ග ගැනීමෙන් දැනට තිබෙන ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා මෙහිදී යෝජනා ඉදිරිපත් විය. එමෙන්ම ඖෂධ සඳහා දැනටමත් වෙන්කර තිබෙන මුදල්, වෙනත් රටවලින් ලැබුණු ණය ආධාරවලින් ලද මුදල් නිසි පරිදි යොදාගෙන කාර්‍යක්ෂමව ඖෂධ ආනයනය කිරීම සඳහා දැනට පවත්වාගෙන යන යම් යම් රෙගුලාසි සහ ක්‍රියා පටිපාටිවලින් යම් බාධාවක් සිදුවන බව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය. එහෙයින් දැනට වෙන්කොට ඇති මුදල් ද නිසි ආකාරයෙන් භාවිතා කළ නොහැකි තත්ත්වය ඇතිව තිබෙන බව ද මින් කියැවිණ.

දේශීය වෛද්‍ය ක්‍රමයෙන් විද්‍යාත්මකව ඔප්පු වී තිබෙන යම් යම් ඖෂධ භාවිතයන් සහ ආහාර පුරුදු, ප්‍රත්‍යක්ෂ ඖෂධ වැනි දේ භාවිතා කිරීම තුළින් රෝග නිවාරණයට වඩා රෝග වැළැක්වීම සඳහා වැඩි අවධානයක් යොමු කිරීමේ වැදගත්කම අනු කමිටුවේ සාමාජිකයෙක් වන දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා විසින් අවධානයට යොමු කරන ලදී. එයට අමතරව ලංකාවේ වැඩිපුර ඖෂධ භාවිත කරන හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ අධි කොලෙස්ටරෝල් තත්ත්වය වැනි රෝග අවම කිරීම සඳහා භාවිත කළ හැකි ආහාර සහ විකල්ප දේශීය ඖෂධ ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණ.

දේශීය ඖෂධ නිෂ්පාදනයේ ඇති ගැටළු සම්බන්ධව ද කමිටුවේ දී දිර්ඝ වශයෙන් සාකච්ඡා වූ අතර, දේශීය ඖෂධ ගබඩා පහසුකම් සම්බන්ධ ගැටළුව සඳහා මැනිං වෙළෙඳ සංකීර්ණය තුළ පහසුකම් සළසා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමග සාකච්ඡා කරන ලෙස ද අනු කමිටු සභාපති පාඨලී චම්පික රණවක මහතා මෙහිදී උපදෙස් දුන්නේය.

මේ අවස්ථාවට එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීනි, විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අදහස් දක්වමින් මෙරටට ඖෂධ ආනයනය කිරීම හා බෙදාහැරීම පිළිබඳ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විශාල කාලයක් ගත වන ක්‍රියාවලියක් බැවින් සුනාමි සහ කොරෝනා වසංගත අවස්ථාවන් හී මෙන්ම මෙය හදිසි අවස්ථාවක් ලෙස සළකා විශේෂ ක්‍රියා පටිපාටි අනුගමනය කිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

පරිත්‍යාග ලෙස ලැබෙන ඖෂධ සහ සැපයුම් නිසි ලෙස ලබාගැනීම සඳහා නිසි ක්‍රියාපටිපාටියක අවශ්‍යතාව විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් පිරිස විසින් අවධාරණය කරන ලද අතර, විශේෂයෙන්ම විවිධ විදේශ ආයතන මගින් ලැබෙන මුදල් ආධාර දූෂණයෙන් සහ අක්‍රමිකතාවයෙන් තොරව භාවිතා කරන බවට වන විනිවිදභාවය කෙරෙහි අදාළ ආයතන සහ සංවිධාන විසින් සළකා බලන බැවින් එම විනිවිදභාවය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම කරණ කොටගෙන එවන් ආකාරයේ පරිත්‍යාග නොලැබී හෝ අඩුවී යන තත්ත්වයක් ද පවතින බව මෙහිදී අවධානයට ලක්විය.

ඖෂධ වශයෙන් ලැබෙන පරිත්‍යාග බොහොමයක් භාවිතයට නුසුදුසු තත්ත්වයේ ඖෂධ එසේත් නැත්නම් කල් ඉකුත් වූ ඖෂධ හෝ කල් තබා ගැනීමේ ක්‍රමවේද නිසි ලෙස අනුගමනය නොකරමින් ආනයනය කළ ඖෂධ හෝ අනවශ්‍ය ඖෂධ බවට පසුගිය සුනාමි සමයේ පටන් ශ්‍රී ලංකාව අත් දකින තත්ත්වයක් බවට මෙහි දී ප්‍රකාශ විය. එසේ ලැබෙන සමහර ඖෂධ භාවිතයට වඩා විනාශ කිරීමට සුදුසු ඒවා වන අතර, එසේ විනාශ කිරීම සඳහා ද විශාල පිරිවැයක් දරන්නට සිදුවන බව ද මෙහිදී හෙළිවිය.

මීට අමතරව සිදු කෙරෙන කරුණු දැක්වීම් ලිඛිතව කමිටුව වෙත සම්පාදනය කරන ලෙස ඉල්ලීමක් කෙරිණ. කමිටුව විසින් ඉදිරියේ දී මේ ඖෂධවල මිල සහ හිඟය අඩු කරගැනීම සහ රජයේ ඖෂධ ලබාගැනීම වඩාත් කාර්‍යක්ෂම කිරීම සඳහා යෝජනා අයවැය සඳහා ඉදිරිපත් කිරීමට ද ආර්ථික ස්ථායීකරණ කමිටුව බලාපොරොත්තු වන බව ප්‍රකාශ විය.

විශේෂයෙන්ම පෞද්ගලික ඖෂධ නිෂ්පාදකයන් සහ අලෙවිකරුවන් නියෝජනය කරමින් මේ අවස්ථාවට පැමිණ සිටි නියෝජිතයන් ප්‍රකාශ කළේ මේ රජය විසින් ගෙවිය යුතු හිඟ මුදල් රු. බිලියන 28 ක් පමණ තිබෙන අතර, ඒ හිඟ මුදල් පියවීම සම්බන්ධයෙන් යම් කිසි ක්‍රම්වේදයක් නොමැතිව ඖෂධ නිෂ්පාදනය සහ ආනයනය පවත්වාගෙන යාම ඉතා අපහසු බවය. මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පාර්ශවයෙන් ඖෂධ සඳහා පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේ දීත් වැඩි මුදලක් වෙන් කොට ඇති බවකි. පසුගිය කාර්තු තුනේම මුදල් 90% ක් පමණ අමාත්‍යාංශය වෙත සම්පූර්ණයෙන්ම නිදහස් කොට ඇති බවද මෙහි දි හෙළිවිය.

Leave a Reply

Your email address will not be published.