22 සම්මත වුනොත් ලංකාවේ ඉතිහාසය අවසන්.. පාප කර්මයෙන් ගැලවෙන හැටි සියළු මන්ත‍්‍රීන්ට කියා දෙයි..

ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි.

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වෙත,

ගරු මන්ත්‍රීතුමනි,

ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විසින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම හරහා එල්ල කරනු ලබන බලපෑම හමුවේ 22 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ සංශෝධන කූඨ ලෙස ඇතුල් කිරීමේ අනතුර තවදුරටත් පවතින බව පෙන්වා දීම

22 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ දැනට පවතින වගන්ති මගින් ප්‍රකාශිත අරමුණ පිළිබඳ අපගේ විරෝධයක් නොමැති බව අප විසින් අවස්ථා කිහිපයකදී ඔබතුමන්ලා වෙත දැනුම් දී ඇත. නමුත් ඉන්දියාව ප්‍රමුඛ බටහිර රටවල් සහ දෙමළ ඩයස්පෝරාව සෘජුව සහ ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය හරහා එල්ල කරනු ලබන බලපෑම හමුවේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම සඳහා ආණ්ඩුවට බලවත් පීඩනයක් එල්ල වී ඇත. ගරු ජනාධිපතිතුමා අවස්ථා දෙකකදී සහ ගරු අධිකරණ අමාත්‍යවරයා තවත් අවස්ථාවකදී දෙමළ ජනතාවගේ අපේක්ෂා ඉටු කිරීම සහ ජනවාර්ගික ගැටලූවට විසඳුම් ලබාදීම සඳහා කඩිනමින් කටයුතු කරන බවට ප්‍රකාශ කර ඇත. ඒ සඳහා පළාත් සභා මහ ඇමතිවරුන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සැළකිල්ලට ගන්නා බවද සඳහන් කර ඇත. එම යෝජනා 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා ඉදිරිපත් කරන ලද බව රහසක් නොවේ.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු ඩයස්පෝරාව විසින් මෙහෙයවනු ලබන දේශීය සහ විදේශීය විවිධ ප්‍රකාශකයින්ට අනුව දෙමළ ජනතාවගේ අපේක්ෂා ලෙස හඳුන්වන එහෙත් බෙදුම්වාදීන්ගේ අපේක්ෂා ඉටුකිරීම හෝ ඊනියා ජනවාර්ගික ගැටළුව විසඳීම සඳහා ඔවුන් විසින් ඉදිරිපත් කරන එකම විසඳුම 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම මගින් ෆෙඩරල් රාජ්‍යයක් නිර්මාණය කිරීමය. එය දෙමළ ඊළාම් මාර්ග සිතියමේ ප්‍රධාන සැතපුම් කණුවකි. නමුත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත් කරන අවස්ථාවේදී ඊට එරෙහිව පැවති ප්‍රබල මහජන විරෝධය නිසා එම සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම වැළැක්වීම සඳහා ව්‍යවස්ථාමය බාධක කිහිපයක් පැනවීමට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට සිදු වූ බව පැහැදිලි කරුණකි. අද වනතුරු පොලිස් ප්‍රඥප්තිය, ඉඩම් ප්‍රඥප්තිය සහ මහ ඇමති අරමුදල් ප්‍රඥප්තිය ආදිය සම්මත කරමින් බෙදුම්වාදී මාර්ග සිතියම ඔස්සේ ඉදිරියට යාමට නොහැකි වී ඇත්තේ එම ව්‍යවස්ථාමය බාධක නිසා ය.

ඒ අනුව බෙදුම්වාදී බලවේග සතුටු කිරීමට නම් එම ව්‍යවස්ථා බාධක ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ඉවත් කළ යුතුය. නමුත් ප්‍රකාශිතව එම සංශෝධනයන් සහිත කෙටුම්පතක් ඉදිරිපත් කළහොත් ඊට එරෙහිව ප්‍රබල මහජන විරෝධයක් එල්ල වන අතර එම සංශෝධන අධිකරණය හමුවේ අභියෝගයට ලක්වේ. විශේෂයෙන්ම රටේ බහුතර ඡන්ද බලය හිමි සිංහල බෞද්ධ ජනතාවගේ සහ බෙදුම්වාදී යුද්ධයේදී ජීවිත සහ අතපය දන්දුන් 60000කට ආසන්න රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ විරෝධය ඊට එරෙහිව එල්ල වේ. එසේම ආරම්භයේ දී ඉන්දු ලංකා ගිවිසුමට සහ පළාත් සභා පනතට එරෙහිව දියත් වූ ප්‍රචණ්ඩ අරගලය තුළ දිවිපිදූ 60000ක් තරුණ තරුණියන්ගේ අරමුණට මතවාදී ඥාතීත්වය සහිත සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාවගේ විරෝධය ඊට එරෙහිව එල්ල වනු ඇත.

කෙසේ වෙතත් මෙම අවස්ථාවේදී අවංකව අරමුණක් සහිතව හෝ ව්‍යවස්ථා පිට කවරයක් ලෙස භාවිතා කිරීම සඳහා හෝ ඉදිරිපත් වී ඇත්තේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය බැවින් අදාළ සංශෝධන ඇතුල් කළ යුත්තේ එම සංශෝධනයට ය. නමුත් ඉහත සඳහන් කළ හේතු නිසා අදාළ සංශෝධන ප්‍රකාශිතව ඊට ඇතුල් කළ නොහැක. මීට පෙර සිදු කළ ව්‍යවස්ථා සංශෝධන වල දී අනුගමනය කළ කූඨ උපක්‍රම අනුව 154 වගන්තියේඅඩංගු 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එරෙහිව පනවා ඇති ව්‍යවස්ථාමය බාධක ඉවත් කළ හැක්කේ අදාල සංශෝධන කාරක සභා අවස්ථාවේදී කූඨ ලෙස ඇතුල් කිරීම මගිනි. එම උපකල්පනය සාමාන්‍ය සැකයක් ඉක්මවා යන දේශපාලන යථාර්ථයක් බව ඉතා පැහැදිලිය. එම දේශපාලන යථාර්ථය තේරුම් ගෙන 22 වැනි සංශෝධනයට එරෙහිව විරෝධය පළකිරීමට කටයුතු කළ සියලුම මන්ත්‍රීවරුන් වෙත ජාතික සංවිධාන ලෙස අපි අපගේ කෘතඥතාවය පළ කරමු. එම තත්ත්වය තුළ22 වැනි සංශෝධනය පරාජය වීම වළක්වා ගැනීම සඳහා අදාළවිවාදය මේ මස 20 සහ 21 දිනවලට කල් දැමීමට ආණ්ඩුවට සිදුවිය.

නමුත් පහත සඳහන් හේතු මත ඉහත සඳහන් කළ රට හමුවේ පවතින මහා භයානක අනතුර පහව නොයන බව අපි ඔබතුමන්ලාට දන්වා සිටිමු. එනම් ආණ්ඩුව තමාට එරෙහිව එල්ල වන ජාත්‍යන්තර පීඩනය හමුවේ හොඳින් හෝ නරකින් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා ප්‍රබල උත්සාහයක් ගනු ඇත.

1. ඉන්දියානු ඔත්තු සේවා විසින් තෝරා ගත් දේශපාලන පක්ෂ නායකයින් වෙත එල්ල කරනු ලබන බලපෑම.

2. මුදල් ගනුදෙනු මගින් යම් මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ හැකියාව සහ ඔවුන් මගින් දේශපාලන පක්ෂ තුළ පීඩනයක් ඇති කිරීම.

3. ආරක්ෂක හමුදාවලට එරෙහිව 46/1 යෝජනාවේ 6 වැනි වගන්තිය මගින් පිහිට වූ යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතු බවට මෙවර 51/5 යෝජනාවේ 8 වැනි වගන්තිය මගින් දක්වා ඇති බැවින් යම් සම්මුතියකට එළඹීමේ නාමයෙන් බෙදුම්වාදී න්‍යාය පත්‍රයට යටත්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවට රාජ්‍ය යාන්ත්‍රණයේ ඉහළ නිලධාරීන්ව පීඩනයක් එල්ල වීම.

4. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් මෙවර සම්මත කළ51/5 යෝජනාව මගින් බලාපොරොත්තු වූ ආකාරයට 46/1 යෝජනාව ඉක්මවා යන ප්‍රබල බලපෑමක් එල්ල නොකිරීම. ඒ මගින් ප්‍රදර්ශනය වන්නේ ඉන්දියාවේ මැදිහත්වීම මත යෝජනාව ඉදිරිපත් කරන රටවල් සමඟ යම් අප්‍රකාශිත එකඟතාවක් ඇති කරගෙන ඇති බවය. එවැනි එකඟතාවයක් ප්‍රකාශිතව ඇති කර ගත හැක්කේ යෝජනාවට කොන්දේසි මත සම අනුග්‍රාහකත්වය දැක්වීම හෝ රහසිගත එකඟතාවයක් මත ප්‍රති යෝජනාවක් ඉදිරිපත් කිරීම මගිනි. නමුත් ඒ මගින් ආණ්ඩුවේ උපක්‍රමය එළිදරව් වන බැවින් අප්‍රකාශිත එකඟතාවයන්ට වැඩි පෙළබවීමක් ඇතිවේ.

5. යම් දේශපාලන පක්ෂ බෙදුම්වාදයට එරෙහි වුවද බලය බෙදීම නැමැති සංකල්පීය ව්‍යුක්තව තේරුම් ගැනීම නිසා පළාත් සභා බලවත් කළ යුතු බවට පිළිගැනීම සහ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ කෙටි මාර්ග වලින් සිදු කළ හැකි යැයි විශ්වාස කිරීම නිසා අනතුරුදායක ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය ට පක්ෂපාතී වීම.

6. 51/5 යෝජනාව මගින් තර්කානුකූල ආකාරයට එනම් සිදුවිය හැකි යැයි උපකල්පනය කළ ආකාරයට ආණ්ඩුවට බරපතළ පීඩනයක් එල්ල නොකිරීම පිළිබඳව ජාත්‍යන්තර බෙදුම්වාදී බලවේග විශේෂයෙන්ම දෙමළ ඩයස්පෝරාවේ ප්‍රකාශිත නායකයින් විසින් සැක කටයුතු නිහඬ වතක් අනුගමනය කිරීම.

7. මන්ත්‍රීවරුන් විසින් ඉල්ලා සිටි පරිදි කාරක සභා අවස්ථාවේදී ඇතුල් කිරීමට නියමිත සංශෝධන නිශ්චිත වගන්ති ලෙස ඔවුන්ට ලබානොදීම. පසුගිය 7 වැනිදා උදේ ඒවා ඔවුන්ට ලබාදෙන බවට අධිකරණ අමාත්‍යවරයා විසින් උපදේශක කාරක සභාවේ දී පොරොන්දුවක් ලබා දුන්නද එය මේ වනතුරු ඉටු නොවීම.

8. මානව හිමිකම් සමුළුවේදී 51/5 යෝජනාව සම්මත කිරීමට පෙර 22 වැනි සංශෝධනයට අදාළ විවාදයට දින නියම කිරීම මගින් ආණ්ඩුව විසින් ලෝකයට හදිසි පණිවුඩයක් ලබා දීම.

9. පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ ද්විත්ව පුරවැසියන්ට එරෙහිව පවතින වගන්තිය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට බලය ලැබෙන කාලය පිළිබඳව කේවල් කිරීම මගින් ඔවුන්ගේ සහාය දිනා ගැනීම හරහා විශේෂ බහුතරය සහතික කර ගැනීමේ හැකියාව.

10. ඊනියා ‘අරගලය’තුළ බෙදුම්වාදී සහ ආගමික අන්තවාදී බලවේග විසින් එල්ල කරනු ලැබූ මානසික බාධක හේතුකොට ගෙන පොදු මහජනතාව අතර සහ විශේෂයෙන්ම මහානායක හිමිවරුන් අතර පවා ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලියේ අනතුර පිළිබඳ විරෝධයක් ජනති නොවීම සහ ඒ පිළිබඳව ගැඹුරු අවබෝධයක් නොතිබීම.

එම තත්ත්වය තුළ ජාතික සංවිධානය ලෙස ඔබතුමාලට මෙම අවසාන පැයේදී ඉතා ඕනෑකමින් පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරමු

I අධිකරණයේ දී එකඟ වූ සංශෝධන හැර වෙනත් කිසිදු කෙටුම්පතේ අඩංගු නොවූ සංශෝධන කාරක සභා අවස්ථාවේදී ඇතුල් නොකරන බවට ජනාධිපති, අගමැති, කතානායක සහ අධිකරණ අමාත්‍යවරයාගෙන් සහතිකයක් ලබා ගැනීම සහ එය ව්‍යවස්ථා සංශෝධනයට පෙර ප්‍රකාශයට පත් කිරීම.

ii සියලු සංශෝධන නිශ්චිත වගන්ති ලෙස භාෂාත්‍රිත්වයෙන්ම විවාදයට සතියකට පෙර මන්ත්‍රීවරුන්ට ලබා දෙන ලෙස නැවත බල කිරීම.

iii කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන සෑම සංශෝධනයක් සඳහා ම වෙන් වෙන් වශයෙන් විශේෂ බහුතරය සහිතව අනුමැතිය ලබා ගත යුතු බවට සහතිකයක් ලබාගැනීම.

vi. ඉහත එකඟතාවයන් උල්ලංඝනය කරන තත්ත්වයක් යටතේ අවසන් ජාතික සටනක් ලෙස සලකා ඊට එරෙහිව කළ හැකි සියලුබලපෑම් සහ විරෝධතා සාමූහිකත්වයෙන් සහ සංවිධානාත්මකව සිදු කිරීම.

v. ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් සිදු කිරීමට ආණ්ඩුව සමත් වුවහොත්ඒ මගින් ශ්‍රී ලංකාවේ ඉතිහාසය අවසන් වන බව වටහාගැනීම සහ පනත් කෙටුම්පත සම්මත වීමට ඉඩ හැර ඡන්දය නොදී සිටීමෙන් පමණක් ඒ මහා පාප කර්මයෙන් ගැලවිය නොහැකි බව පුද්ගලිකව පිළිගැනීම.

Leave a Reply

Your email address will not be published.