ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අමෙරිකාවේ අඛණ්ඩ සහාය

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) සඳහන් කළේය.

ඩොනල්ඩ් ලූ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දීය.

මෙම හමුව අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී Julie Chung, දේශපාලන හා ආර්ථික උපදේශක Susan Walke යන මහත්මීහු ද ඊට එක්ව සිටියහ.‍

ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු රජය ලබා දෙන අඛණ්ඩ සහාය මෙහිදී අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සිය ස්තූතිය පළකර ඇත.

ශ්‍රී ලංකාව තුළ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්වරයා ජනාධිපතිවරයා වෙත සුභාශීංසන පිරිනමා තිබේ. 

අභියෝග ජය ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට හැකි සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවද සහකාර රාජ්‍ය ලේකම්වරයා වැඩිදුරටත් පැවසූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීම අපේක්ෂාව බව සඳහන් කළ ඩොනල්ඩ් ලූ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට සහ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය ද ඇගයීමට ලක් කළේය.

Leave a Reply

Your email address will not be published.