ඉලක්කයට යන්න තිබෙන්නේ මේ බදු ක්‍රමය විතරයි

  • IMF සහාය නැති වුණොත් අපි තනි වෙනවා
  • අකැමැත්තෙන් තීරණ ගත්තත් ඒවා ගැන විටින් විට සලකා බලනවා
  • ජනපතිගෙන් බදු ප්‍රතිපත්තිය ගැන විශේෂ ප්‍රකාශයක්

 අපට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නව බදු ක්‍රමය ක්‍රියාත්මක කරන්න වෙනවා.

මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළ හොත් අපට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට බැරි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඊයේ (19) විශේෂ ප්‍රකාශයක් කරමිනි.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා අප එකඟ වූ ඉලක්කය වන්නේ 2026 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක – 15%ක ආදායමක් ලබා ගැනීම බවත්, අප මේ වැඩපිළිවෙළින් ඉවත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපට ලැබෙන්නේ නැති බවත්, ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබෙන්නේ නැති නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලත්, සහයෝගය දෙන අනෙකුත් රටවලත් සහාය අපට හිමි වන්නේ නැති බවත්, එසේ වුව හොත් අපට නැවත පෝලිම් යුගයට යන්න වන බවත් කීය.

රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩ ගැනීමට නම් අකැමැත්තෙන් වුව අසීරු තීන්දුතීරණවලට එළඹීමට සිදු වන බවද පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය:‍

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩසටහනේ වැදගත් පියවරක් පසුගිය සතියේ සිදු වුණා. මුදල් රාජ්‍ය ඇමැතිතුමා යටතේ කණ්ඩායමක් වොෂින්ටන් නුවර ඔක්තෝබර් 7 දා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීමට සහභාගි වුණා. ඒ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකාවට ණය දුන් රටවල් හා ණය දුන් සමහර පෞද්ගලික ආයතන සමඟ රැස්වීමක් පැවැත්වූවා. 75 දෙනකුට වැඩි පිරිසක් ඍජුව සහ සූම් තාක්ෂණය ඔස්සේ ඒ රැස්වීමට සහභාගි වුණා.

ශ්‍රී ලංකාවට ණය දුන් ප්‍රධාන රටවල් 3 වන ජපානය, චීනය සහ ඉන්දියාව සමඟ පොදු වේදිකාවකට පැමිණ සහන දීමට ගත යුතු ඉදිරි පියවර කුමක්ද යන්න සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ශ්‍රී ලංකාවත් මේ රැස්වීමේදී පෙන්වා දුන්නේ, පොදු වේදිකාවක තිබෙන අවශ්‍යතාවයි. ඉන්දියාව සහ චීනය ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කර පිළිතුරු දෙන බව දන්වා තිබෙනවා. ඒ වගේම ද්විපාර්ශ්වික සාකච්ඡාත් අවශ්‍ය වෙන්න පුළුවන් කියා දැනුම් දී තිබෙනවා.

තවත් රටවල් ගණනාවක් මෙයට සහභාගි වුණා. විශේෂයෙන් අමෙරිකා භාණ්ඩාගාරයේ සහකාර ලේකම්වරයෙක් මේ සාකච්ඡාවට පැමිණියා. මේ සියල්ල කිරීමට අපට අවස්ථාව ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අප ගත් තීන්දු ක්‍රියාත්මක කරන නිසයි.

ශ්‍රී ලංකා රජයේ ආදායම් පිළිබඳ එක් කාරණයක් මතුව තිබෙනවා. 2015දී ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණි අවස්ථාවේ ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් අවශ්‍ය බව අපට දැනුම් දුන්නා. ඒ වගේම අපි 2017-2018 වර්ෂවල ඒ අතිරික්තය දුන්නා. එහෙත් 2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා එය අඩු වුණා. ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපට ප්‍රාථමික අයවැයෙහි අතිරික්තයක් තිබෙන නිසා අපේ ආදායම වැඩි කරගන්න අපට පුළුවන් වෙයි කියා ඒ අය බලාපොරොත්තු වුණා.

එදා අපේ ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් – 15%ක් අතර ප්‍රමාණයක්. එහෙත් ක්‍රමානුකූලව මෙය 17%කට-18%කට වැඩි කරගන්න පුළුවන් කියා අප එකඟ වුණා. ඒත් 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ බදු විශාල ලෙස අඩු කළා. එවිට රජයේ ආදායම 8.5%කට අඩු වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ගිවිසුම්වලින් ඈත් වෙලා ආධාර දීමට නොහැකි බව ප්‍රකාශ කළා.

අපට රුපියල් බිලියන 600ක්-700ක් පමණ ඒ වසරේ අහිමි වුණා. ඒ එක්කම කොවිඩ් වසංගතයටත් අපට මුහුණ දීමට සිදු වුණා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන හේතු වුණේ මේ තත්ත්වයයි.

අපේ ප්‍රාථමික අයවැයේ අතිරික්තයක් ලබාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට දැනුම් දුන්නා. ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා අපත් එයට එකඟ වුණා.

අනෙක් කරුණ තමයි: රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% සිට 14.5% දක්වා වැඩි කිරීමට තීරණය කිරීම. එය එක්වර කිරීම අසීරු කාර්යයක්. ඒ නිසා 2026 වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5% දක්වා ආදායම වැඩි කරගැනීමට අප සැලසුම් කර තිබෙනවා.

රටේ ආදායම් වැඩි කර ගන්නේ කෙසේද කියා පළමුවෙන්ම අපට සිතන්න සිදු වෙනවා. ආදායම අඩු වූ නිසා අප මුදල් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර දෙකේදී මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2300ක්. ඒ නිසා උද්ධමනය 70%ක්-75%ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වී තිබෙනවා.

මේවා පාලනය කිරීමත් අවශ්‍යයි. ඒ වගේම ආදායම උපයා ගැනීමටත් අවශ්‍යයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති මෙම සාකච්ඡාවලදී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා. අපනයන කර්මාන්තවලටත් බදු ගෙවන්න අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබුණා.

අපනයන ආර්ථිකයක් තිබෙන රටවල් බදු ගෙවන බව ඔවුන් පෙන්වා දුන්නා. ඒ වගේම ඔවුන් සඳහන් කළේ අපේ පළමුවැනි අපනයන ආර්ථිකය වුණේ වැවිලි කර්මාන්තය බවත්, බ්‍රිතාන්‍ය පාලන කාලයේදී තේ, පොල්, රබර් සෑම වැවිලි ක්ෂේත්‍රයකින්ම බදු ගෙවීම සිදු කළ බවත්ය. ඒ නිසා අප එම ඉලක්කයට ගමන් කරනවා නම් බදු ගෙවන්න සිදු වෙයි කියා දැනුම් දුන්නා.

ඒ ගැන දැන් අපනයන ක්ෂේත්‍රය අපෙන් ප්‍රශ්න කර තිබෙනවා. එම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න අප බලාපොරොත්තු වෙනවා.

දෙවන කාරණය පෞද්ගලික බදු. අප වැඩිපුරම බදු ලබාගත්තේ වක්‍ර බදු ලෙසයි. රටේ දුප්පත් සාමාන්‍ය ජනතාවටත් එම වක්‍ර බදු ගෙවීමට සිදු වුණා. අප ඍජුව ලබාගත් බදු ආදායම 20%යි. 80%ක ප්‍රමාණයක් ලබාගත්තේ වක්‍ර බදුවලින්. විශේෂයෙන්ම ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්න තිබුණා, ඒ අය කිව්වේ ඍජු බදුවලින් ලබාගන්න බදු ප්‍රමාණය 20%කට වඩා වැඩි විය යුතු බවයි. නැත්නම් මෙය සාර්ථක නොවන බවත්, සාමාන්‍ය ජනතාවටත් බදු ගෙවීමට සිදු වන බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ඒ නිසා මෙම ක්‍රමවේදයට අනුවත්, 2026 ඉලක්ක ළඟා කර ගැනීම සඳහාත් මෙම බදු අය කිරීම ලක්ෂ 2ක අදායමක් ලබන අයගෙන් සීමා කළ හැකි ද යන්න පිළිබඳව භාණ්ඩාගාරයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සාකච්ඡා කළා, එහෙත් ඒ අරමුණ ඉටු වුණේ නැහැ. අවසානයේ සිදු වුණේ ලක්ෂයකට වැඩි ආදායමක් ලබන පිරිසගෙනුත් ආදායම් බදු අය කිරීමයි. මේ පිළිබඳ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.

මීටත් වඩා අසීරු කාලයක් අපට ඉදිරියේදී ඇති විය හැකියි. මෙම ණය ලබාගෙන ණය ප්‍රතිව්‍යූහගතකරණ වැඩපිළිවෙළට අප යා යුතුයි. අප මේ කටයුතු කැමැත්තෙන් කරන්නේ නැහැ. අකැමැත්තෙන් හෝ සමහර තීරණ ගන්න සිදු වෙනවා. ඒවගේම එම තීරණ පිළිබඳ අප විටින් විට සලකා බලනවා.

ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩසටහන සාර්ථක කර ගන්නවා වගේම, මහකන්නයේ අපට හොඳ අස්වැන්නක් ලැබුණාම එයින් ආර්ථික වාසියක් ලබාගෙන ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. එමඟින් ආර්ථික පීඩාව අඩු වෙනවා. ඒ වගේම අපේ විදේශ විනිමය සංචිතය වැඩි කරගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මේ පියවර කිහිපය ක්‍රියාත්මක කළ විට අපට ඉදිරියට යා හැකියි.

අද අපේ රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටිනවා. ඒ අසීරු කාලයේ අසීරු තීරණ ගන්න වෙනවා. වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක මා ඒ අසීරු කටයුත්ත භාර ගත්තා. ඉතින් මා හිතුවා මේ පසුබිම ගැන සියලු දෙනා දැනුම්වත් කරන්න මට යුතුකමක් තිබෙනවා කියලා. මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බවත් සඳහන් කරන්න කැමැතියි.

Leave a Reply

Your email address will not be published.