ගැසට් පත්‍රය ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

රාජ්‍ය අමාත්‍යවරුන්ට විශේෂ පහසුකම් සලසමින් රජය නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

එම පෙත්සම සලකාබැලීම සඳහා නොවැම්බර් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (21) නියමකළේය.

මෙම පෙත්සම එස්. තුරෙයිරාජා, ශිරාන් ගුණරත්න සහ ජනක් ද සිල්වා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඩුල්ල නියමකළේ අදාළ පෙත්සම, කරුණු තහවුරුකිරීම සඳහා නොවැම්බර් 02 වන දා කැඳවන ලෙසය.

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එහි වගඋත්තරකරුවන් ලෙස ජනාධිපති ලේකම්වරයා, නීතිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු පිරිසක් නම්කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ අලුතින් පත්කළ රාජ්‍ය අමාත්‍යවරුන්ට හිමිවන පහසුකම් හා වරප්‍රසාද පිළිබඳව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයා ඉකුත් සැප්තැම්බර් මස 09 වනදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කළ බවය.

එම  ගැසට් නිවේදනය මගින්  රාජ්‍ය අමාත්‍යවරයකුට මසකට ලීටර් 1500ක ඉන්ධන ලබාදීම, දුරකථන සම්බන්ධතා හතරක් ලබාදීම, පුද්ගලික කාර්ය මණ්ඩලය සඳහා එකොළොස් දෙනෙකු ලබාදීම, කාර්ය මණ්ඩල වියදම් වශයෙන් රුපියල් 40,000 ක් ලබාදීම ඇතුළු පහසුකම් හා වරප්‍රසාද රැසක් සලසා ඇතැයි පෙත්සම්කරු සඳහන් කරයි.

රට තුළ මතුවී තිබෙන උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පීඩාවිඳිමින් සිටින අවස්ථාවක රාජ්‍ය අමාත්‍යවරුන් සඳහා මේ ආකාරයෙන් සුවිශේෂ වරප්‍රසාද සලසාදීම තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පෙත්සම්කරු පෙන්වා දෙයි.

එබැවින් පෙත්සම විභාගයට ගැනීමට අවසරදෙන ලෙසත් පූර්ණ විභාගයක් පවත්වා අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරිමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

Leave a Reply

Your email address will not be published.