පොලීසිය පහරදුන් බව කියා අධිකරණයට පෙත්සමක්

සමාජවාදී තරුණ සංගමයේ ක්‍රියාකාරිකයින් 06 දෙනෙකු විසින් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

රජය විසින් ප්‍රකාශයට පත්කළ අධිආරක්ෂිත කලාපවලට එරෙහිව පැවති සාමකාමී උද්ඝෝෂණයකට සහභාගීවී සිටි තමන්ට පොලීසිය සිදුකළ පහරදීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබාගත් බවද ඔවුන් සඳහන් කරයි. 

පෙත්සම්කරුවන්  සඳහන් කරන්නේ රජය විසින් ප්‍රකාශයට පත් කළ අධිආරක්ෂිත කලාපවලට එරෙහිව ඉකුත් සැප්තැම්බර් මස 24 වනදා සමාජවාදී තරුණ සංගමය විසින් මරදාන ඩින්ස් පාරේ පැවැත්වූ උද්ඝෝෂණයට තමන් ද සහභාගී වූ බවය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා,  බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඒ.ජී. ජේ. චන්ද්‍රකුමාර, උතුරු කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී. එම්. ආර්. අඹේපිටිය, කොළඹ දකුණ පොලිස් අධිකාරී ජී. එච්. මාරපන, කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්.කේ.ඩයස්, මරදාන, වේල්ලවීදිය, කොටුව, කුරුදුවත්ත යනාදී පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරු ඇතුළු 26 දෙනෙකු නම් කර තිබේ.

සාමකාමී ලෙස පැවති උද්ඝෝෂණයට පොලීසිය විසින් සිදු කළ අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් තුවාල ලැබූ තමන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගත් බව පෙන්වා දෙන  පෙත්සම්කරුවන්, ඉන්පසුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී හමුවට ඉදිරිපත් කෙරුණු බවත් පෙන්වා දෙයි.

එම අධිකරණ වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට කැඳවා විමර්ශනයක් සිදුකරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

වගඋත්තරකාර පොලිස් නිලධාරින්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

Leave a Reply

Your email address will not be published.