ඉදිකිරීම් ක්ෂේත්‍රය රැක ගන්න ජනපතිගෙන් කමිටුවක්

ඉදිකිරීම් ක්ෂේත්‍රය පවත්වාගෙනයාම සහ ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් අනුගමනය කළයුතු වැඩපිළිවෙළ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති අභියෝග සහ යෝජිත ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

පවතින ආර්ථික තත්ත්වය යටතේ ඉදිකිරීම් ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර මධ්‍යම පාන්තික නිවාස ව්‍යාපෘති සහ මාර්ග ව්‍යාපෘති ඉදිකිරීමේ දී සිදුව ඇති ප්‍රමාදයන් පිළිබඳ විශේෂ අවධානය යොමු කරනු ලැබීය.

එමෙන්ම කොන්ත්‍රාත්කරුවන්, බැංකු සහ අනෙකුත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය. ඉදිකිරීම් ක්ෂේත්‍රය පවත්වාගෙනයාම සහ ක්ෂේත්‍රයේ රැකියා සුරක්ෂිතතාව වෙනුවෙන් අනුගමනය කළයුතු වැඩපිළිවෙළ පිළිබඳව මෙහිදී නිලධාරින්ගේ අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කරමින් නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට ද යෝජනා කළේය. ඉදිකිරීම් ක්ෂේත්‍රය නඟාසිටුවීම වෙනුවෙන් විශේෂ කාර්ය සාධක බළකායක් පිහිටුවන ලෙස ද ක්ෂේත්‍රයේ නියුතු පිරිස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ‌ලේකම් සමන් ඒකනායක, ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයට අයත් ආයතනවල ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published.