මුහුණුපොතෙන් ලාබෙට බඩු පෙන්නා මුදල් ගැරූ ගාල්ලේ සැකකරු 3 දා දක්වා රිමාන්ඩ්

දවසකට ලක්ෂ ගණන් ගිණුම්වලට දාලා

කොරියාවෙන් ආනයනය කළ ඩිජිටල් පරිගණක උපාංග ඔන්ලයින් ක්‍රමය යටතේ අඩු මිලට අලෙවි කරමින් පාරිභෝගිකයින්ගේ ගිණුම්ගත මුදල් කෝටි ගණනින් වංචනික ආකාරයට විවිධ ගිණුම් වෙත බැර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු ලබන මස 3 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඊයේ (21) නියෝග කළේය.

මීට අමතරව එලෙස වංචා කළ මුදල් තැන්පත් කළ ගිණුම් හිමිකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුගේ පෙම්වතිය යැයි පැවසෙන බවත් සැකකාරිය ඇප මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා පාරිභෝගිකයින්ගේ මුදල් බැර කළ virtuall wallet ජාලගත ගිණුම අත්හිටුවීමට ද නියෝග කළේය.

ශ්‍රී ලාංකිකයින්ගේ මුදල් මෙසේ වංචා කිරීමේ කාර්යය සඳහා තවත් සංවිධානාත්මක පිරිසක් සම්බන්ධ ද? යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරු විසින් මෙසේ පාරිභෝගිකයින්ගේ ගිණුම්වල ඇති මුදල් බැර කළ දේශීය මෙන්ම විදේශීය ගිණුම් සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර ඇති බව පැවසීය.

සැකකරුවන් කාලයක් තිස්සේ මෙම ජාවාරම සිදු කර ඇති අතර, ඔන්ලයින් ක්‍රමය යටතේ මෙම පරිගණක උපාංග ආනයනික මිල ගණන් මතම පාරිභෝගිකයින් වෙත අලෙවි කර ඇති අතර, පාරිභෝගිකයින්ගෙන් මුදල් ලබාගෙන එකී භාණ්ඩ නොදී මඟ හැර ඇත.

අනතුරුව පාරිභෝගිකයින් විසින් මුදල් නැවත ඉල්ලීමේදී එම මුදල් ගිණුම්ගත කිරීම සඳහා එකී පාරිභෝගිකයාගේ බැංකු ගිණුම් අංකය, හැඳුනුම්පත් අංකය ආදි විස්තර ලබා ගන්නා සැකකරු එකී විස්තර මත ඔන්ලයින් ඔස්සේ බැංකු ගිණුම් ආරම්භ කර පාරිභෝගිකයින්ගේ බැංකු ගිණුම්ගත මුදල් අන්තර්ජාලය ඔස්සේම විවිධ ගිණුම්වලට බැර කර ඇත.

සැකකරුවන් විසින් මෙසේ බැර කරන ලද මුදල් කොපමණද යන්න මෙතෙක් ගණනය කර නොමැති අතර, සැකකරුගේ පෙම්වතියගේ ගිණුමේ තිබූ ලක්ෂ 56ක මුදලක් සොයා ගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසීය.

අවුරුදු විසිතුනක් වයසැති සැකකරු ඩාක් වෙබ් අඩවිය ඔස්සේ ස්වයංව පරිගණක අධ්‍යාපනය ලබාගෙන මෙම කාර්යයන් සඳහා හසළ දැනුමක් ඇති අයෙකු බවටත් ඔහු හෙරොයින් පානය කිරීමට ද ඇබ්බැහිවූ අයෙකු වන අතර, දිනකට ලක්ෂයකට අධික මුදලක් බැංකු හරහා ගිණුම්ගත කර ඇති බවට තොරතුරු අනාවරණය වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රජයේ සේවකයෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරු ජාලගත විමර්ශනයකින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල ප්‍රදේශයේ පදිංචි උදාර චාමික යන සැකකරු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කළ අතර, අකුරැස්ස පදිංචි අයේෂා සුබෝධනි යන සැකකාරිය ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරිණ.

Leave a Reply

Your email address will not be published.