මාල කැඩූ කොල්ලකරුවන්ට පොලිසියෙන් වෙඩි

දෙනෝදහක් බලා සිටියදී මීගමුව නගර මධ්‍යයේදී කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් ඊයේ (23) සවස 2.30ට පමණ කොල්ලකා පලා යමින් සිටි කොල්ලකරුවන් දෙදෙනෙක් පසුපස හඹා යමින් සිටි රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක්ට කොල්ලකරුවන් විසින් කළ වෙඩි තැබීමකදී එල්ල කළ ප්‍රතිප්‍රහාරයකින් එක් කොල්ලකරුවෙක් මිය ගොස් අනෙකා තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙම වෙඩි හුවමාරුව සිදුව ඇත්තේ කටුනායක ආඬිඅම්බලමේදීය. මීගමුව ඔරලෝසු කණුව ආසන්නයේදී මෙම කොල්ලකරුවන් දෙදෙනා විසින් රන් මාලය කොල්ලකා ඇත්තේ නගරයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යන කාන්තාවකගේ බව මීගමුව කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතා සඳහන් කළේය.

තරංගා දිල්හානි නමැති ඇය අවුරුදු 27ක් වයසැති තැනැත්තියක් බවද පොලිසිය කියයි. ඇය සිය රූපලාවණ්‍යාගාරය වසා පාගමනින් ගමන් කරමින් සිටියදී ඔරලෝසු කණුව ආසන්නයේදී ඇගේ ගෙල බැඳි පවුමකට ආසන්න බරක් ඇති රන් මාලය කඩාගෙන ඇත්තේ ඇගේ ගෙල මිරිකා බව ද පොලිසිය කියයි. යතුරුපැදිය ඇය ආසන්නයටම කිට්ටු කර එකවරම නතර කර යතුරුපැදියේ පසු පස සිටි පුද්ගලයා විසින් ඇගේ ගෙල බැඳි රන් මාලය කොල්ලකා ඇති බව ද පොලිසිය සඳහන් කළේය. එවිට ඇය කෑ ගසා ඇති බවත් මාර්ගයේ ගමන් කරමින් සිටි බොහෝ අයගේ අවධානයට මෙම කොල්ලය ලක්ව ඇත්තේ එහිදී බවත් පොලිසිය කියයි. මෙම අවස්ථාවේදී රථවාහන අංශයේ රාජකාරි කටයුත්තක් සඳහා කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් දෙදෙනෙක් මාර්ගයේ ගමන් කරමින් සිට ඇත. ඇගේ කෑ ගැසීමේ හඬට එම නිලධාරීන් දෙදෙනාගේ අවධානය යොමු වීමත් සමඟ එම නිලධාරීන් දෙදෙනා ඔවුන් ගමන් කරමින් සිටි යතුරු පැදියෙන් කොල්ලකරුවන් පලා යන යතුරු පැදිය හඹායාමට පටන් ගෙන තිබේ. යතුරුපැදිය පලා යමින් තිබී ඇත්තේ මිනුවන්ගොඩ දෙසටය. කටුනායක ආඬිඅම්බලම ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන් ගමන් කරමින් සිටි යතුරුපැදිය කොල්ලකරුවන් ගමන් කරමින් සිටි යතුරුපැදියට කිට්ටුකර ඉස්සර කරනවාත් සමඟ “ළඟට එන්න එපා වෙඩි තියනවා“ යැයි කියමින් යතුරුපැදියේ පිටුපස අසුනේ සිටි කොල්ලකරු ගිනි අවියක් පෙන්වා කෑ ගසා ඇති බවත් එය එතරම් තැකීමක් නොකර පොලිස් නිලධාරීන් ගමන් කළ යතුරුපැදිය ඉස්සර කිරීමට සූදානම් වනවාත් සමඟ ඔහු පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා ඇති බවත් පොලිසිය කියයි.

එම අවස්ථාවේදී කොල්ලකරුවන් හඹා යමින් සිටි යතුරු පැදියේ පසුපස අසුනේ සිටි පොලිස් නිලධාරියා ඔහුගේ රාජකාරි අවියෙන් කොල්ලකරුවන් දෙසට ප්‍රති ප්‍රහාරයක් එල්ලකර ඇති බවත් එහිදී එක් වෙඩිල්ලක් යතුරු පැදිය පැදවූ කොල්ලකරුට වැදී තිබෙන බවත් ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතා කීය. ඒත් එක්කම යතුරුපැදිය ඉදිරියට මදක් ධාවනය වී ආඬිඅම්බලම පොල හංදියේ රාහුල මාවතේදී පෙරළී ඇති බව පොලිසිය කියයි. එහිදී වෙඩි වැදුණු යතුරුපැදිකරු මීගමුව රෝහලට ඇතුලත් කරන විට මියගොස් සිට ඇති බවත් පසුපැදිකරු යතුරු පැදිය පෙරළීමෙන් ඇතිවුණු තුවාල හේතුවෙන් රෝහල් ගතකර සිටින බවත් පොලිසිය කියයි. මේ වන විට ඔහු සිටින්නේ පොලිස් අත්අඩංගුවේ ප්‍රතිකාර ලබමිනි. මෙසේ කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලයක් කොල්ලකා පලායමින් සිටියදී පොලිස් වෙඩිල්ලකින් මරුමුවට පත්වූ පුද්ගලයා මීරිගම, නාවාන, යක්විලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන විදානආරච්චි දසනායකලාගේ දර්ශන සම්පත් හෙවත් යාපා නැමැති 26 හැවිරිදි අයෙක් බව පොලිසිය කියයි. තුවාල ලබා සිටින්නේ කටුනායක , කෝවින්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විසිපස් හැවිරිදි අලහකෝන් ආරච්චිගේ මනෝජ් ප්‍රියංකර නැමැති අයෙකි. පොලිස් නිලධාරීන් දෙසට වෙඩි තබා ඇත්තේ ඔහු බව පොලිසිය කියයි. වෙඩි තැබීමට යොදාගත් 0.38 වර්ගයේ නිකල් රිවෝල්වරයක් ද වෙඩි වැදී ඔවුන් වැටී සිටි ස්ථානයේ තිබී සොයා ගත් බව පොලිසිය සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.