සරසවි සිසුන් 50කට ඒඩ්ස්

– විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි

* මාස 9ට ආසාදිතයෝ 342ක්
* ඉකුත් වසරට වඩා  18 – 30 වයස්වල ආසාදිත පිරිස දෙගුණ වෙලා
* අාසාදිත බව නොදැන 1000ක් සමාජයේ

මේ වසරේ ආරම්භයේ සිට මේ දක්වා ගත වූ මාස 9ක කාලය තුළ එච්.අයි.වී. අසාදිතයන් 342 දෙනකු වාර්තා වී තිබෙන අතර, මේ පිරිසේ විශ්වවිද්‍යාල සිසුන් 50ක් සිටින බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පැවසුවාය.

එමෙන්ම පාසල් දරුවන් 4ක්, චීවරධාරීන් දෙදෙනකු ඒ අතර සිටින බවද කී ඇය වයස අවුරුදු 18ත් 30ත් අතර තරුණ තරුණියන් අතර එච්.අයි.වී. වයිරස ආසාදිතයන්ගේ වාර්තා වීම පසුගිය වසරට සාපේක්ෂව දෙගුණයකින් ඉහළ ගොස් ඇති බවද කීවාය.

වර්ෂ 1987 දී මෙරටින් පළමු එච්.අයි.වී. ආසාදිතයා වාර්තා වූ අතර, මේ දක්වා වාර්තා වූ ආසාදිතයන් අතරින් චීවරධාරීන් 20ක් පමණ සිටින්නේ යැයිද, අන්‍ය ආගමික පූජකවරුන්ද මේ අතර සිටින්නේ යැයිද ඇය පැවසුවාය.

1987 වසරේ සිට මේ දක්වා ආසාදිතයන් 4,404ක් වාර්තා වී ඇති අතර, ඉන් 1,000ක් පමණ මරණයට පත්ව ඇති බවත් 2,300ක පමණ පිරිසක් ප්‍රතිකාර ගැනීමට යොමුව සිටිය ද ඇස්තමේන්තුවලට අනුව ආසාදිතයන් 3,700ක් පමණ ප්‍රතිකාර ලබා ගත යුතු බවත් ඇය පැවසුවාය.

ආසාදිතයන් 1,500ක පමණ පිරිසක් එච්.අයි.වී. ආසාදිතයන් බව නොදැන සමාජය තුළ සිටින බවත් අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පවත්වන පුද්ගලයන් බොහෝ පිරිසකට ඔවුන්ගෙන් වයිරසය ආසාදිත විය හැකි බවත් ඇය ප්‍රකාශ කළාය.

අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් පුද්ගලයන්ට එච්.අයි.වී. ආසාදනය වන්නේ යැයි ද, දරුවන් සමඟ ලිංගික කාරණා විවෘතව කතා කිරීමෙන් මෙවැනි ආසාදනයන් වළක්වා ගත හැකි බවත් ඇය පැවසුවාය.

තරුණ දරුවන් සම්බන්ධයෙන් වැඩි වශයෙන් සොයා බැලීමට මවුපිය වැඩිහිටියන් කටයුතු කළ යුතු යැයිද ඇය පැවසුවාය.

Leave a Reply

Your email address will not be published.