මාස නවයට ඩොලර් කෝටි 1000ක අපනයන ආදායමක්

11.83ක වර්ධනයක්

මේ වසරේ පළමු මාස නවයක කාලයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 10ක වෙ‍ෙළඳ භාණ්ඩ අපනයන ආදායමක් ඉපැයීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඇමෙරිකානු ඩොලර් මිලියන 9,996.19ක අපනයන ආදායමක් මේ කාලය තුළ උපයා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙන අතර එය පසුගිය 2021 වසරේ එම කාලයේදී උපයා තිබෙන ඇමෙරිකානු ඩොලර් මිලියන 8,938.49 ට සාපේක්ෂව සියයට 11.83ක වර්ධනයක් බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.

පසුගිය 2020 වසරේ මුල් මාස නවයක කාලයේදී ශ්‍රී ලංකාවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 7,444.90ක් අතර, ඒ අනුව කොවිඩ් 19 වසංගත තත්ත්වය හා අනෙකුත් අර්බුදකාරී තත්ත්වයන් පැවතිය ද අපනයන ආදායම ක්‍රමයෙන් වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබෙන බවද එම මණ්ඩලය පෙන්වා දෙයි.

කෙසේ වුවද පසුගිය 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී මෙරටට හිමිව තිබෙන වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,034.50ක් වන අතර, ඊට සාපේක්ෂව සියයට 5.75ක වර්ධනයක් පෙන්වමින් මේ වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1,093.98 ක අපනයන ආදායමක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබේ. මේ වසරේ මුල් මාස නවයක කාලය සසඳන විට ඇඟලුම් හා රෙදිපිළි අපනයනයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 4,562.67ක ආදායමක් හිමිකරගෙන තිබෙන අතර, ඊට අමතරව තේ අපනයනයෙන් ඩොලර් මිලියන 937.14ක් ද රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 787.87ක් ද පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 638.58ක් ද උපයා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.

ඉලෙක්ට්‍රොනික හා ඉලෙක්ට්‍රොනික සංරචක, දියමන්ති මැණික් හා ස්වර්ණාභරණ, සැකසූ ආහාර පාන වර්ග, කුළුබඩු හා සාන්ද්‍රික නිෂ්පාදන, මුහුදු ආහාර, ඛනිජ තෙල් නිෂ්පාදන ආදිය අපනයනයෙන් ද ඉහළ ආදායමක් හිමිකරගෙන ඇති අතර, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, කැනඩාව, බෙල්ජියම, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, චීනය, ජපානය, බංග්ලාදේශය සහ මෙක්සිකෝව ඇතුළු රටවල් රැසකට ශ්‍රී ලංකාවේ නිෂ්පාදන අපනයනය කරයි.

මේ අතර මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,455.75ක් වූ අතර, එය 2021 අනුරූප කාල සීමාවට වඩා සියයට 3.8 කින් වැඩි විය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් ඇස්තමේන්තුගත කර ඇති සේවා අපනයන තොරතුරු සන්නිවේදන තාක්ෂණ (ICT), ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණය (BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ සැපයුම් සේවා ආදියෙන් සමන්විත බවද ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published.