සම්මතවූ 21 ගැන නීතීඥ සංගමයෙන් නිවේදනයක්

පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ජනාධිපතිවරයාගේ විධායක බලතල සීමාකිරීමේ ප්‍රමාණාත්මක සංශෝධන අන්තර්ගත නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

ඒ, 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 21 වනදා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර ඡන්දයෙන් සංශෝධන සහිතව සම්මත වුණි.

ඒ අනුව 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය ලෙස බලාත්මක වෙයි.

21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ, 
21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර පැවති තත්ත්වය සම්පුර්ණයෙන්ම ස්ථාපිත කර නැති බවය. 

ඒ අනුව විධායක ජනාධිපතිවරයාගේ බලතල පිළිබඳ ප්‍රමාණවත් සංවරණ හා තුලන එමගින් ඇති කර නොමැතිවීම කනගාටුවට කරුණක් බව නීතිඥ සංගමය පෙන්වා දෙයි.

කෙසේවුවත්, වර්තමානයේ 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතිගත කර ඇති බැවින් ඒ යටතේ පත්කිරීමට නියමිත ආණ්ඩුකම ව්‍යවස්ථා සභාව සහ ප්‍රතිසංවිධානය කිරීමට නියමිත ස්වාධීන කොමිෂන් සභා ස්වාධීන, අපක්ෂපාති සහ ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය ඇති කිරීමට උපකාර වන ආයතන බවට පත්වීම අත්‍යවශ්‍ය බවද එම නිවේදනයේ සඳහන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරුන් නොවන සාමාජිකයන් පත්කිරීමේදී විනිවිදභාවයෙන් යුතුව විවෘතව සිදුකිරීමට වගබලා ගන්නා ලෙසත්, පත්කරන සාමාජිකයන් මහජනතාවට පිළිගත හැකි සුපිළිපන්භාවයක් සහ කීර්තියක් ඇති පුද්ගලයන්වීම වැදගත් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි.

එමෙන්ම 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මකවීමෙන් පසු ස්වාධීන කොමිෂන් සභා ප්‍රතිසංවිධානය කරන බැවින් මැතිවරණ කොමිෂන් සභාව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සහ සීමානීර්ණ කොමිෂන් සභාව වැනි ආයතනවලට පත්කරන පුද්ගලයන් සුදුසුකම් සහ හැකියාව සහිත තැනැත්තන්වීමේ අවශ්‍යතාවයද මෙම නිවේදනය තුළින් අවධානයට ලක්කර තිබේ.

ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් ස්වාධීන ආයතන ඇතිකිරීමේ ගැටලුව විසඳීමට 21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කිසියම් ආකාරයකින් අපොහොසත් වුවහොත් සමස්තයක් ලෙස ශ්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යය කෙරෙහි අහිතකර බලපෑමක් ඇති කරනු ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙයි. 

Leave a Reply

Your email address will not be published.