ප්‍රියමාලිගේ රන් කිලෝවක් විකුණූ තිකෝ අධ්‍යක්ෂ රිමාන්ඩ්

තිකෝ සමූහ ව්‍යාපාරයේ තිළිණි ප්‍රියමාලි කමල් හසන් යන පුද්ගලයාගෙන් ගත් රුපියල් කෝටියක් පමණ වටිනා රන් කිලෝ එක විකිණීමට ඍජුව දායක වූ බව කියන තිකෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන විජේසූරිය ආරච්චිගේ කසුන් පෙරේරා ලබන නොවැම්බර් මස 02 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් ජයන්ත ඩයස් නානායක්කාර මහතා ඊයේ 28 නියෝග කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඔහු සමඟ අධිකරණයට ඉදිරිපත් කළ එම රන් කිලෝ එක මිලට ගත් බව කියන ජාඇළ දුම්රිය පොළ පාරේ පිහිටි ස්වර්ණාභරණ වෙළෙඳසල හිමිකරු දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඒ අනුව රුපියල් පනස් දහසක මුදල් ඇප රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප දෙකක් ඉදිරිපත් කරන ලෙසත් ඇපකරුවන් පදිංචි සහතික ඉදිරිපත් කරන ලෙසත් ඇප කොන්දේසි ඉදිරිපත් කරමින් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එමෙන්ම රන් කිලෝ එක මිලට ගත් ස්වර්ණාභරණ හිමිකරු සන්තකයේ තිබූ රන් පවුම් 40ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති අතර, විකුණූ බව කියන රන් පවුම් 20ට අදාළව රුපියල් ලක්ෂ 30ක මුදලක් සැකකරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවන් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේය. රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු තුන්වැනි සැකකරු තිකෝ සමූහ ව්‍යාපාරයට අනුබද්ධ තිකෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂවරයකු බව සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

ස්වාමීනි, පසුගිය 25දා සෝදිසි වරෙන්තුවක ප්‍රකාරව තිළිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන දෙවැනි සැකකාර ඉසුරු පෙරේරාට අයත් පිළිමතලාවේ නිවෙස පරීක්ෂා කළා. රන් බවට සැක කෙරෙන කැබලි 8ක් එහි තිබී අත්අඩංගුවට ගත්තා. රුපියල් කෝටියක් පමණ වටිනා රන් භාණ්ඩ සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව කසුන් හර්ෂණ පෙරේරා කැඳවා ප්‍රකාශ ගත්තා. එදින ඔහු ප්‍රකාශ කළේ තිකෝ සේවකයකු පමණක් බවයි. දෙවැනි වරට පසුගිය 27 දා නැවත කැඳෙව්වා. ඔහුට අයත් පෞද්ගලික බැංකුවක් ගිණුමකින් තිළිණි ප්‍රියමාලි අවස්ථා 10කට වැඩි ප්‍රමාණයක් ගනුදෙනු කර තිබෙනවා. එහිදී රුසියාවෙන් මිලියන 20, 30, තැන්පත් කර ඇති බවත් අනාවරණය වී තිබෙනවා. එම මුදල් කුමන අරමුණකින් තැන්පත් කළාද යන්න අනාවරණය වී නැහැ ස්වාමීනි.

එමෙන්ම එම සැකකරු 2021 දෙසැම්බර් මස සිට අනුබද්ධිත ආයතනයක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් සැකකාරිය සමඟ ඍජුවම ගනුදෙනු සඳහා ඉදිරිපත් වී ඇති බවත් සෑම නඩුවක් සඳහාම ඇය සමඟ ගොස් ඇති බවත් විමර්ශනවලින් අනාවරණය වුණා.

කළ විමර්ශනවලට අදාළව ජාඇළ ස්වර්ණාභරණ හිමිකරුවකු වන නල්ලයියා ජයමෝහන් සහ මොහොමඩ් ගාලන් යන අයට විකිණූ බවට අනාවරණය වුණා. ප්‍රියමාලි සමඟ තෙවැනි සැකකරු එකතු වී රන් විකිණීමට හතරවැනි සැකකරුට දුරකතනයෙන් කතා කර තිබෙනවා. වරායේ වෙන්දේසියකින් ගත් රන් බවට ප්‍රකාශ කර තිබෙනවා ස්වාමීනි. එම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරනවා. ඔහු විදේශගතව ඇති බවට තොරතුරු අනාවරණය වෙනවා. මේ සිද්ධිය සඳහා තුන්වැනි සැකකරු ඍජු දායකත්වයක් දී තිබෙනවා. ඔහුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 389, 403, 102, ඇතුළු වගන්ති යටතේ චෝදනා ගොනු කර තිබෙනවා. එමෙන්ම සිව්වැනි සැකකාර රන් මිලදී ගත් ස්වර්ණාභරණ හිමිකරු සම්බන්ධයෙන් විමර්ශන අවසන්. ඔහු සම්බන්ධයෙන් ඇප දීමට විරෝධතාවක් නැහැ ස්වාමීනි යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

සියලු කරුණු සැලකිල්ලට ගත් වැඩ බලන මහේස්ත්‍රාත්වරයා තිකෝ කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ අධ්‍යක්ෂවරයා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් ස්වර්ණාභරණ හිමිකරු ඇප මත මුදා හරින ලෙසත් නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කර ලබන නොවැම්බර් 02 අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

සිව්වැනි සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් සහ තෙවැනි සැකකරු වෙනුවෙන් දසුන් මහතා ඇතුළු නීතිඥ මඬුල්ලක් අධිකරණයේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක ගාමිණී ගමගේ, පොලිස් සැරයන් ගුණරත්න යන මහත්වරුන් අධිකරණයට කරුණු දැක්වීය.

Leave a Reply

Your email address will not be published.