රූපලාවණ්‍යාගාර හරහා ‘අයිස්’ ගැහැනු දරුවන් බිලි ගනී වැඩිම හානිය කුරුණෑගලට

 ගැහැනු දරුවන් අතර අයිස් ඇතුළු මත්ද්‍රව්‍ය වේගයෙන් ප්‍රචලිත වන්නේ සැලුන් (රූපලාවණ්‍යාගාර) මඟින් බවට සාධනීය තොරතුරු රැසක් වාර්තාවී ඇතැයි අන්තරායකර ඖෂධ නියාමන පාලන ජාතික මණ්ඩලයේ සහකාර මාර්ගෝපදේශක ලක්මී නිලංකා මහත්මිය පැවැසුවාය.

සැලුන් මඟින් සිදු වන මේ හානිය සම්බන්ධයෙන් මෙතෙක් නොවූ විරූ ආකාරයේ ප්‍රවණතාවක් කුරුණෑගලින් හඳුනා ගන්නට හැකි වී තිබෙන බව කී ඇය, එය දැඩි සංවේගයෙන් යුක්තව මවුපියන්ට පවසා සිටින බව ද කීවාය.

ඇය මේ බව පැවසුවේ දරුවන් මතින් මුදා ගැනීම පිළිබඳව මවුපියන් සතු කාර්යභාරය සම්බන්ධයෙන් කුලියාපිටිය සාරානාත් විදුහලේ පැවැති වැඩසටහනකට පසුගියදා (28) එක් වෙමිනි.

දිගින් දිගටම පාසල් ශිෂ්‍ය ප්‍රජාව දරුණු ලෙස විවිධ ක්‍රම හරහා මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම්වල ශීඝ්‍ර වැඩි වීමක් දක්නට ලැබෙන නිසා කුලියාපිටිය සුරාබදු ස්ථානය මඟින් පාසැල්වල දුවා දරුවන්ගේ මවුපියන් දැනුම්වත් කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධාන කර තිබූ අතර එහිදී ඇය මෙසේද කියා සිටියාය.

ඔබේ දරුවන් අහිංසක දරුවන් කීකරු, කියන දේ අහන අය නම් හොඳයි. ඒත් ඔබේ දරුවා පමණ ඉක්මවා සමාජයේ අය විශ්වාස කරමින් අවනත වෙනවා නම් එතන අවදානමක් පවතිනවා. අපි දරුවන් තුළ ප්‍රගුණ කරවන්න අවශ්‍යයි ජීවන කුසලතා, තීරණ ගන්න, ගැටුම් නිරාකරණය කරගන්න, ස්වයං අවබෝධය, චිත්තවේග කළමනාකරණය කරගන්න වගේම නොදන්න අනවශ්‍ය දෙයක් එපා කියලා එතැනින් ෂේප් වෙලා යන්න. තීරණයක් ගන්නකොට හානි අවම වාසි වැඩිම තීරණ ගන්නත් දරුවන්ට පුරුදු පුහුණු කළ යුතුයි. අන්න එතකොට අපේ දරුවන් මතට පමණක් නෙවෙයි අනෙකුත් සමාජ විරෝධී ක්‍රියාවන්ට ගොදුරුවෙන එකක් නැහැ. ඒ නිසා දරුවාට හැම කුසලතාවයක් එක්කම අයහපත් දේ ප්‍රතික්ෂේප කිරීමේ “එපා” කියන පුරුද්දත් ඇති කරවන්න අවශ්‍යයි යනුවෙන් ද එහිදී සඳහන් කළාය. බොහෝ තැන්වල දරුවන් මේ තත්ත්වවලට පෙලඹෙන්න මාපියන්ගේ යම් යම් වැරදි හැසිරීම් බලපාලා තිබෙන බව අපි ගාවට එන දරුවන් සමඟින් කතා කරනකොට දැනගන්න තියනවා. එක්කෝ තාත්තා බී‍ගෙන ඇවිල්ලා අම්මා එක්ක රණ්ඩු සරුවල්. එහෙම නැත්නම් තාත්තා අම්මාගෙන් අපේක්‍ෂිත යම් යම් කාරණා සම්බන්ධව සෑහීමට පත් නොවී අම්මාව සැක කරලා ගැටුම්. ඒ වගේම ඒකෙ අනික් පැත්ත. මේ සියලු දේවලින් තැළෙන්නෙ පොඩි වෙන්නෙ අපේ අනාගතය භාර ගන්න ඉන්න අපේම දරුවන්. ඒ අය තමන්ගෙ සැනසීම මත්ද්‍රව්‍යවල ඇති කියලා මහා මිථ්‍යාවක ඉඳලා වැඩිමහල් අයගෙ පිහිටෙන් ඒ මත්ද්‍රව්‍ය පසුපස යනවා යනුවෙන්ද ඇය එහිදී සඳහන් කළාය.

ඩයනා ගමගේ අමාත්‍යවරියගේ ජනප්‍රිය ගංජා කථාව පිළිබඳව ද රැස්ව සිටි මාපියන් මතු කළ මාතෘකාවක් ඔස්සේ එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්වූවාය.

ගංජා කියන්නේ අනිවාර්යයෙන් ඖෂධයක්. ඔබේ දරුවාත් ඒ බැව් කියාවි. නමුත් ආයුර්වේදයේ ගංජා කිසිම අවස්ථාවක තනිව ගන්නෙ නැහැ. එහි තිබෙන ටී.එච්.සී. කියන රසායනික ද්‍රව්‍ය නිස්සාරණය කරමින් තමයි ගංජා ඖෂධවලට භාවිතා කරන්නෙ. ගංජා භාවිතය කියන්නෙ මානසික ගැටලුවලට අතවැනීමක් යැයි පැවසුවාය.

එහිදී වයඹ පළාත් සුරාබදු සහකාර කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම, කුරුණෑගල සුරාබදු අධිකාරී තිස්ස කුමාර රාජපක්‍ෂ, කුලියාපිටිය සුරාබදු ස්ථානාධිපති සම්පත් සිරිමාන්න යන මහත්වරුන්ද මාපියන් දැනුම්වත් කළ අතර කුලියාපිටිය සාරානාත් විදුහලේ විදුහල්පති චමින්ද රන්දෙනි මහතාගේ ඉල්ලීමකට අනුව එම දැනුම්වත් කිරීම එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

Leave a Reply

Your email address will not be published.