කතුන් රට පටවන ගණිකා ජාවාරමක් රැකියා ඒජන්සි 07ක් ජාවාරමට හවුල්

ඕමානයට ගිය CIDය හෙළි කර ගනී

ජාවාරමුන් අල්ලන්න ඒකාබද්ධ මෙහෙයුමක් ඇරඹේ

ගෘහ සේවය සඳහා බව පවසමින් මෙරට කතුන් ඕමානයට රැගෙන ගොස් ගණිකා සේවයේ යොදවන ජාවාරමක් පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළි කරගෙන තිබේ.  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙ‍ෙළඳාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ කොට්ඨාසයේ සහ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින් කණ්ඩායමක් ඕමානයට ගොස් විමර්ශනයක් පවත්වා එම ජාවාරමට සම්බන්ධ පිරිස් මේ වන විට හඳුනාගෙන ඇත.

මෙම ජාවාරමට සම්බන්ධ මෙරට නියෝජිතයන් අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙ‍ෙළඳාම, ජාවාරම් විමර්ශන සමුද්‍රීය අපරාධ කොට්ඨාසය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. එහිදී මේ ජාවාරමට සම්බන්ධ රැකියා ඒජන්සි 07ක් ද හඳුනා ගැනීමට හැකියාව ලැබී ඇත.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සමඟ එක්ව එම රැකියා ඒජන්සිවලට එරෙහිවද පියවර ගැනීමට මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නීතිමය පියවර ගනිමින් සිටින බව සඳහන්ය. එසේම මෙම ජාවාරමට සම්බන්ධව ඕමානයේ රැඳී සිටින මෙරට වැසියන් කිහිප දෙනෙකුද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන තිබේ. ඒ අය යම් දිනක මෙරටට පැමිණෙන විට ගුවන් තොටුපොළේදීම අත්අඩංගුවට ගැනීමට හැකි වන ලෙස නීතිමය පියවර ගැනීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පියවර ගනිමින් ඇත.

ඕමානයේ රැකියාවලට ගොස් විවිධ තාඩන පීඩනවලට ලක්ව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැකවරණය මත මේ වන විට රැඳී සිටින කාන්තාවන් 50 කට ආසන්න පිරිසක් මුණ ගැසීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පියවර ගෙන තිබුණි. එහිදී එම කාන්තාවන්ගෙන් මේ සම්බන්ධව බොහෝ තොරතුරු හෙළිවී තිබේ.

Leave a Reply

Your email address will not be published.