බැසිල් ද්විත්ව පුරවැසිභාවය ගැන ගත් තීරණය

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යළි ගොඩනැගීමට බව පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කරගනිමින් පවත්වනු ලබන රැස්වීම් මාලාවට තමා විරුද්ධ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එමෙන්ම බැසිල් රාජපක්ෂ මහතා ද්විත්ව පුරවැසිභාවය අත්හැරීමට සුදානම් නොමැති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

දෙරණ 360 වැඩසටහනට ඊයේ (31) එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ප්‍රශ්නය – ප්‍රසන්න රණතුංග රනිල් වික්‍රමසිංහගේ දෑත් ශක්තිමත් කරන්න මිනුවන්ගොඩදී තීරණයක් ගත්තා කියලා අනුර කුමාර දිසානායක කියනවා.

“එතුමා කියන කාරණාව සත්‍ය නොවේ. මේ මැයි 9 වනදා අරගලය එක්ක ඇති වුණ ක්‍රියාදාමය දේශපාලන හා ආර්ථික ප්‍රශ්නත් එක්ක කොන්දේසි විරහිතව තනි මන්ත්‍රීවරයා රනිල් වික්‍රමසිංහ මහත්තයා තමා මේක භාරගත්තේ.”

ප්‍රශ්නය –  ඊළඟ මැතිවරණයට රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ නායකත්වයෙන්ද යන්නේ ?

“එතනට තාම වේලාසන වැඩියි. හැබැයි අද රනිල් වික්‍රමසිංහ මහත්තයා, අපේ නායකයෝ ඔක්කෝම අතහැරලා යනකොට රට ගොඩගන්න බෑ කියලා යද්දි, කවුරු හරි කෙනෙක් රට ගැන හිතලා භාරගත්තා නම් කකුලෙන් අදින්න බෑ.”

ප්‍රශ්නය –  මං ඇහුවේ කළුතර ගියේ නැත්තේ ඇයි කියලා?

“එදා මම රට යන දවස. මම ආවට පස්සේ ආරච්චිකට්ටුවට ගියා. සනත් ඇහුවා අයියේ ඔයා කතා කරනවා ද කියලා. මම කිව්වා මල්ලි මම මේ වැඩේට විරුද්ධයි කියලා. මහින්ද රාජපක්ෂට ගෞරවනීය සමුදීමක් දෙන්න අපි හැදුවේ. අපිට ඒ දේ කරගන්න බැරිවුණා. අපි ආපහු එතුමාව ඇයි මේ තත්ත්වයට පත්කරන්නේ. අපිට අද පාරේ නිදහසේ බැහැලා යන්න හදලා දීපු නායකයෙක් මේ මට්ටමට පත්කරන්න එපා කියලා නාමල්ගේ මුණට මම කිව්වේ. මොකද එයා ඒක පිළිගත්තා ඒක”

ප්‍රශ්නය – බැසිල් රාජපක්ෂ ද්විත්ව පුරවැසිභාවය අත්හැරලා යළි ආවොත් දේශපාලනයට හොඳ නායකත්වයක් දෙන්න පුළුවන්ද?

“මං හිතනවා පුළුවන් කියලා. මම බැසිල් රාජපක්ෂට කතා කරලා ඇහුවා 22 ගේන්න හදනවා, මොකද කරන්නේ කියලා. ප්‍රසන්න මට යුද්දේ ගැටලු වගයක් තියෙනවා. මට ඒක නිසා ද්විත්වපුරවැසිභාවය අහෝසි කරගන්න බෑ. එතුමාට යුද්දේ චෝදනාවල් තිබුණා නේ. ඔයාලා දන්නවානේ UN වාර්තාවේ මොනව ද තිබුණේ කියලා. හැබැයි අපි දැන් වයසයි. ඔයාලා මේක අතට අරගෙන කරන්න කිව්වා. මන් ගැන හිතන්නේ නැතුව ඔයාලා පක්ෂයක් හැටියට තීන්දු කරලා කරන්න කිව්වා.”

ප්‍රශ්නය – ඇත්තටම ඔබතුමාගේ ගිනි තිබ්බ විනාශ කළ දේපළ මොනවාද?

“180, මිනුවන්ගොඩ පාර, උඩුගම්පොළ කියන ගේ. මේකට කවුරුහරි වගකියන්න ඕන. පොලීසිය සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ. මොකද මගේ ‍ගෙදර ආරක්ෂක අංශ හිටියා. ඇයි මේ අය අවම බලයවත් පාවිච්චි කළේ නැත්තේ මේක රකින්න. මම ඇත්ත කියන්නම් කෝ… මම හිටියා නම් ඔය ගේ ඇතුළේ මම වෙඩි තියනවා එන අයට. ඔය ආවේ බයගුල්ලෝ, නිවටයෝ ටිකක්. දැන් එන්නේ නෑනේ කවුරුත් අපේ මූණට හැප්පෙන්න.”

Leave a Reply

Your email address will not be published.