ආශාවරී දරුවන් වෙනුවෙන් රාජ්‍ය ඇමතිනී ගීතා ඉදිරිපත් වෙයි

මැදිරිගිරිය ප්‍රදේශයේ ආශාවරී නමැති ළමා සංගීත කණ්ඩායමේ කටයුතු නතර කිරීම සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය සිය කනස්සල්ල පළ කළාය.

ඇය පවසන්නේ දක්ෂතා ඇති දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙනයාම සඳහා සහාය විය යුතු බවය.

මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරිය මේ බව පැවසුවාය.

“ඇත්තටම මේක හරි වැරදි වැඩක්. දක්ෂ දරුවන්ට තම කලා හැකියාවන් ඉදිරියට ගෙන යන්නට අප අත දිය යුතුයි. ඔවුන්ට එවැනි නීති ලෝකේ කොහේවත් හදන්න බෑ. කලාව කියන්නේ වෙනම මාධ්‍යක්. මයිකල් ජැක්සන්, අවුරුදු 10න් සිංදු කියන්න පටන් ගත්තේ. නන්දා මාලිනී මැතිනිය කොච්චර අඩු වයසින්ද පටන් ගත්තේ. මම රඟපාන්න ගත්තේ අවුරුදු 16න්. මමත් ළමයෙක් ඒ කාලේ. ලිට්ල් ස්ටාර් එහෙම බලන්නකෝ දක්ෂ දරුවෝ කොච්චර බිහිවෙනවද කියලා. හැකියාව මොට කරන්න එපා. “

පසුගිය දින කිහිපයයේ සමාජ මාධ්‍ය තුළ මෙම ආශාවරී සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් කතාබහට ලක් විය.

මේ වනවිට විවෘත ප්‍රසංග ද පවත්වන තරමට මෙම ළමා සංගීත කණ්ඩායමේ දැරියන්ගේ හැකියාව ඉතා ඉහළ මට්ටමක පවතී.

කෙසේ වෙතත් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ වයස අවුරුදු 16 ට අඩු කිසිම අයෙකු මොනයම් ආකාරයකින් හෝ වෘත්තියක යෙදීම සම්පුර්ණයෙන්ම තහනම් බවය.

ආශාවරී ළමා සංගීත කණ්ඩායමේ මෙම දැරියන් යොදාගනිමින් සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිත වූ දිනය පාසල පවත්වන දිනයක් බැවින් එය සම්පුර්ණයෙන්ම තහනම් ක්‍රියාවක් බව චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ  කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා,

“16 ට අඩු කිසිම අයෙකු මොනයම් ආකාරයක වෘත්තියක යෙදීම සම්පුර්ණයෙන්ම තහනම්. ළමයින් යොදාගෙන සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතවූ දිනය පාසල පවත්වන දිනයක්. පාසල් යවන්නේ නැතිව මෙවැනි ආකාරයකට වෘත්තීන්වල යොදාගැනීම අධ්‍යාපන ප්‍රඥප්තිය අනුව සම්පුර්ණයෙන්ම තහනම්. එනිසා ළමා ශ්‍රමයට විරුද්ධව අපි නිරන්තරයෙන්ම කටයුතු කරනවා.” 

මේ සම්බන්යෙන් අදහස් දැක්වූ ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර මහතා පැවසුවේ කුමන කටයුත්තක වුවද ළමුන් සූරාකෑමකට ලක්වන්නේ නම් එය වළක්වාගැනීමට ළමා ආරක්ෂක අධිකාරිය කටයුතු කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති උදය කුමාර මහතා,

“මෙම සිදුවීම මාස 2කට පෙර පොලිස් නිලධාරීන් කරන ලද විමසීම සම්බන්ධයෙන් ජාතික ළමා රක්ෂණ අධිකාරියේ නෛතික ප්‍රතිපාදන මත අදාළ සිදුවීම සම්බන්ධයෙන් කම්කරු දෙපාර්තමේන්තුවට එම සිදුවීම යොමුකරන්නට කටයුතු කළා. රටත් රාජ්‍යක් ලෙස සියලුදෙනාම දරුවන්ට සහාය දිය යුතුයි. කම්කිසි කලා කටයුතුත්තක දී හෝ නිර්මාණශිලි කටයුත්තකදී වෙන්න පුළුවන් දරුවන් සූරාකෑම වළක්වා ගැනීමට කටයුතු කළ යුතුයි. “

මේ අතර, කොළඹ විශාඛා විද්‍යාලයේ අද (05) පැවති ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධාන උළෙලට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා දරුවන්ගෙන් ඉල්ලා සිටියේ නව සංකල්ප ඔස්සේ  රටට විදේශ විනිමය ගෙන ඒම සඳහා ක්‍රියාකිරීමට අධිෂ්ඨාන කරගන්නා ලෙසය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන මහතා,  

“මගේම රත්තරං දුවේ වෙනස්ම විදියට හිතන්න. අලුත්විදියට හිතන්න. රටට ඩොලර් ගේන්න තියෙන ක්‍රමයක් තියෙව ද?. විදේශ විනිමය ගේන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද ? තරුණ පරම්පරාව දැන් මේ වෙන දේවල් කරන්න නෙවෙයි හිතන්න ඕන. කොහොම ද අපි ව්‍යාපාරයක් පටන් ගන්නේ. කොහොමද අපි පිටරටට යමක් අලෙවි කරලා දෙයක් ගේන්නේ. අලුත් විදියට සොෆ්ට්වෙයා එකක් හදලා කොහොමද අලෙවි කරන්නේ. ඔබ ව්‍යාපාරික කාන්තාවක් වෙන්න ඕන. ඔබ තමයි විහාරමහාදේවීන් වෙන්නෙ මේ රට බේරගන්න. ඔබ තමයි අනුලා දේවීන් වෙන්නේ.  ඔබ තමයි වීර මාතාවන් බවට පත්වෙන්නේ. ඔබ හිතන්න රට ගැන අලුත්විදියට වෙනස්විදියට ලෝකය ජයගන්න. රුපියල් ශත නොවෙයි ඩොලර් යුරෝ පවුම් හොයන විදියක් හිතන්න. ඒවා හොයන්නෙ නැතිව රටක් දියුණු කරන්න බැහැ.”

Leave a Reply

Your email address will not be published.