ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ දෙවන කාණ්ඩයෙන් ඉන්දීය කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය ලකුණු 71කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව, පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 186ක් රැස්කළේය.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් KL රාහුල් ලකුණු 51ක් රැස්කළ අතර සූර්යකුමාර් යාදව් නොදැවී ලකුණු 61 රැස්කළේය.
පන්දු යැවීමේදී ෂෝන් විලියම්ස් කඩුලු 2ක් දවා ගත්තේය.
තරගය ජයගැනීම සඳහා ලකුණු 187ක ප්‍රබල ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 3ක් තුළ සියලුදෙනා දැවී රැස්කළේ 115ක් පමණි.
සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් සිකන්දර් රාසා ලකුණු 34ක් රැස්කළ අතර රයන් බර්ල් ලකුණු 35ක් රැස්කළේය.
පන්දු යැවීමේදී රවිචන්ද්‍රන් අශ්වින් කඩුලු 3ක් දවාගත්තේය.