වෙනිසියුලාවේ සිදුවූ දරුණු භූමිකම්පා මාලාවෙන් එරට පාපන්දු කණ්ඩායමක ක්‍රීඩා කරන ආර්ජන්ටිනා ජාතික ක්‍රීඩකයෙකුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙය වසර සියයකට වැඩි කාලයක් තුළ වෙනිසියුලාවට බලපෑ ප්‍රබලම භූමිකම්පාව ලෙස සැලකේ.
Club Sport Marítimo La Guaira කණ්ඩායම නියෝජනය කරන 38 හැවිරිදි ලූකස් ට්‍රෙජෝ, සුන්බුන් අතර සිරවී සිටි තම බිරිඳ වන යානිනා සහ දරුවන් වන ආරොන් සහ අයින්හෝවා සෙවීම සඳහා පසුගිය දින තුන පුරා දැඩි උත්සාහයක නිරත විය.
භූමිකම්පාවෙන් දැඩිලෙස පීඩාවට පත් ‘ලා ගුවයිරා’ වෙරළබඩ ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නිවස තිබූ ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත්, ක්‍රීඩක ට්‍රෙජෝ මේ වන විට දැඩි මානසික කම්පනයකට පත්ව ඇති බවත් ඔහුගේ ඥාතීන් පවසයි.
වෙනිසියුලා බලධාරීන්ට අනුව, මෙම ස්වභාවික ව්‍යසනයෙන් මේ වන විට පුද්ගලයන් 1,500කට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර තවත් දහස් ගණනක් අතුරුදන්ව සිටි.
භූමිකම්පාව සිදුවන අවස්ථාවේදී ට්‍රෙජෝ සිට ඇත්තේ අගනුවර වන කරකාස් හි පිහිටි පුහුණු කඳවුරක ය. අනතුර සැලවූ වහාම ඔහු සැතපුම් 18ක් දුරින් පිහිටි තම නිවස වෙත දිව ගියද, එහිදී ඔහුට දැකගත හැකි වූයේ මහල් නිවාස සංකීර්ණය තිබූ තැන ඉතිරිව තිබූ දැවැන්ත සුන්බුන් ගොඩක් පමණි.
බර යන්ත්‍රෝපකරණ හිඟකම හේතුවෙන් ට්‍රෙජෝ සහ ඔහුගේ මිතුරන් විසින් සුන්බුන් ඉවත් කිරීමට උදව් ඉල්ලා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පට පවා නිකුත් කර තිබුණි. කෙසේ වෙතත්, එම දැඩි සෙවීම් අවසාන වූයේ කඳුළු කතාවකිනි.
පසුගිය ඉරිදා දින ට්‍රෙජෝගේ පාපන්දු සමාජය නිල නිවේදනයක් නිකුත් කරමින්, ඔහුගේ බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ අභාවය පිළිබඳව සිය බලවත් කණගාටුව පළ කර තිබුණි.
“ලූකස්, ඔබ තනිවම නැහැ. මාරිටිමෝ ලා ගුවයිරා හි ඔබේ පවුලේ සැවොම ඔබ සමඟ ඉන්නවා,” යැයි එම පණිවිඩයේ සඳහන් විය.
අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන පරිදි තත්පර 39ක් ඇතුළත ප්‍රබල භූමිකම්පා දෙකක් එක පිට එක සිදුවීම නිසා මෙම විනාශයේ බිහිසුණු බව වැඩි වී තිබේ.
මෙම අනතුරින් වෙනිසියුලාවේ තරුණ පාපන්දු තරු කිහිපයකගේම ජීවිත අහිමි වී ඇත. මෑතකදී දෝහා හි පැවැති 17න් පහළ ලෝක කුසලානය නියෝජනය කළ 18 හැවිරිදි දක්ෂ ක්‍රීඩක යිම්වර්ට් බෙරොටෙරන් මෙන්ම, තරුණ ක්‍රීඩකයන් වන වික්ටර් පැලසියෝස් සහ රසාන් සිජා ද මියගිය අය අතර සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.


