මිල්ලනියේ විදුහලක සිසුන් තිදෙනකුට අමානුෂික පහරදීමක්

හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක 5 වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරයාගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලිය(කරන්ට්) වැදීමට සලස්වන ලදැ යි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භවී ඇත.

දරුවන් තිදෙනා පාසලෙන් එළියට රැගෙන ගොස් ඇතැයි පැවසෙන්නේ මාංචු කුට්ටම්ද දැමීමෙන් පසුවය.

මේ සිද්ධිය වී ඇතැයි පැවසෙන්නේ ඉකුත් 2 වැනිදා බදාදා දිනයේය.

සිද්ධියෙන් තුවාල ලැබූ දරුවෝ දෙදෙනෙක් රෝහල් ගත කරනු ලැබ සිටිති. මින් සිසුවකුගේ ශරීරයේ පිලිස්සුම් තුවාල කිහිපයක්ම තිබී සොයා ගැනුණු බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය උදයකුමාර අමරසිංහ මහතා පැවසීය.

පාසලේ ගුරුවරියකගේ මුදල් පසුම්බියක් නැතිවී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම විදුහලේ පස්වැනි වසරේ දරුවන් දොළොස් දෙනකු විදුහල්පතිවරයා සහ ගුරුවරුන් කිහිප දෙනකු විදුහලේ පුස්තකාල කාමරයේ රඳවා සිද්ධිය ගැන විමසමින් පහරදී ඇති බවත් එසේ පහර දීමෙන් අනතුරුව විදුහල්පතිවරයා මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනයෙන් කතාකිරීමෙන් පසුව පොලිස් ජීප් රථයකින් එහි පැමිණි නිලධාරීන් තිදෙනකු ඉන් දරුවන් තිදෙනකු එම රථයේ නංවාගෙන විදුහලෙන් පිටතට රැගෙන ගොස් ඇති බවත් මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයිද සභාපතිවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published.