බේරාගත් ශ්‍රී ලාංකිකයින් ගැන ගත් අලුත්ම තීරණය

යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වීමෙන් වියට්නාම මුහුදේ අතරමංවී සිටියදී පෙරේදා බේරාගැණුනු ශ්‍රී ලාංකිකයන් 303 දෙනා Ho Chi Minh හි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය වෙත භාරදී තිබේ.

වියට්නාම විදේශ අමාත්‍යංශය අද මේ බව තහවුරු කළේය.

මේ අතර එම පිරිස ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් ඔවුන්ට තාවකාලික නවාතැන් සැපයීමට කඩිනම් පියවර ගත් බවත් වියට්නාම විදේශ අමාත්‍යංශය වැඩිදුරටත් පවසයි.

මේ අතර ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ඔවුන්ගේ ජාතිකත්වය සහ අනෙකුත් තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලියෙන් අනතුරුව කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවය.

ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව ඊයේ අනතුරට ලක්ව ඇත්තේ, වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී ය.

ඒ වනවිට යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්ව වියට්නාම භූමියෙන් නාවික සැතපුම් 258ක් දුරින් මුහුදේ පාවෙමින් පැවති බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය. 

යාත්‍රාව අනතුරට පත්වීමත් සමඟ එහි සිටි ලාංකිකයෙක් ඒ පිළිබඳව මෙරට නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය අමතා දැනුම් දී තිබේ. 

මෙරට නාවික හමුදාව පවසන්නේ, මේ සම්බන්ධයෙන් වියට්නාම නාවුක මුදාගැනීමේ මෙහෙයුම් මැදිරිය වෙත දැනුම් දුන් බවය. 

ඉන් පසුව වියට්නාමය විසින් සිංගප්පූරු සහ මැලේසියා රජයන් සමග සම්බන්ධ වී අදාළ යාත්‍රාව සම්බන්ධ තොරතුරු හුවමාරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ලාංකිකයින් බේරාගැනීම සඳහා මැදිහත්ව ඇත්තේ, අනතුරට පත් නෞකාව අසලින් යාත්‍රා කරමින් තිබූ ජපානයට අයත් හිලියෝස් ලීඩර් නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවයි.

මුදාගත් පිරිස අතරට පිරිමි පුද්ගලයන් 264ක්, කාන්තාවන් 19ක් සහ ළමුන් 20ක් ඇතුළත්. 

Leave a Reply

Your email address will not be published.