සීනි බද්දෙන් අහිමි වූ බිලියන 16න් අය කර ගත හැක්කේ සියයට 24යි

ආනයනික සීනි මත පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කිරීම හේතුවෙන් රජයට අහිමි වූ රුපියල් බිලියන 16ක මුදලට අදාළ ආදායම් බදු අය කර ගැනීමට සූදානම් බව වැඩ බලන මුදල් ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.‍

දැනට පවතින නීතිය යටතේ එම මුදලෙන් 24%ක් ආදායම් බදු ලෙස අදාළ සමාගම්වලින් අයකර ගැනීමේ හැකියාව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

අදාළ සීනි බදු අඩු කිරීම හේතුවෙන් ඇති වූ තත්ත්වය පිළිබඳ විගණකාධිපති වාර්තාව පදනම් කර ගනිමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් වැඩ බලන ඇමැතිවරයා ඊයේ (09) මේ බව කියා සිටියේය.

2020 වසරේ ඔක්තෝබර් මස 14 වැනි දින සිට මාස තුනක කාලයක් ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවති මිල ඉහළ යාමේ තත්ත්වය පාලනය කිරීම සඳහා ශත 25 දක්වා පහත දැමිණි.

එහෙත් අදාළ බදු අඩු කිරීමේ වාසිය ජනතාවට ලබා නොදී ආනයනකරුවන් අත තබා ගැනීමෙන් රජය කැප කළ ආදායම රුපියල් කෝටි 1776ක් ලෙස ගණන් බලා ඇත.

එසේ ආදායම් තමා අත රඳවා ගත් සමාගම් 10ක් හඳුනා ගෙන ඇති අතර, ඉන් එක් සමාගමක් සමස්ත සීනි ප්‍රමාණයෙන් 45%ක් ආනයනය කර තිබෙන අතර, පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මෙම බදු සහනය හිමි වූ කාලය තුළ පමණක් අදාළ සමාගමේ සීනි ආනයනය 1220% ගුණයකින් ඉහළ ගොස් ඇතැයි විගණකාධිපති වාර්තාව මඟින් පෙන්වා දෙයි.

දේශීය ආදායම් කොමසාරිස්වරයාට ඇති බලතල ප්‍රකාරව අදාළ බදු අයකර ගැනීමේ කටයුතු සිදු කිරීමට අපේක්ෂිත බවත් ඊට අවශ්‍ය සියලු සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් සියඹලාපිටිය මහතා පැවසීය.

පවතින නීති තත්ත්වයන් යටතේ අයකර ගත හැකි මෙම මුදල අයකර ගැනීමට සහය දක්වන ලෙස පාර්ලිමේන්තුවේ සියලු පාර්ශ්වවලින් වැඩ බලන ඇමැතිවරයා ඉල්ලා සිටියේය.

Leave a Reply

Your email address will not be published.