අටමස්ථානාධිපති නාහිමි පදවිප්‍රාප්තිය අද

අනුරාධපුර අටමස්ථානාධිපති තනතුරට අභිනවයෙන් පත්ව සිටින ප්‍රවීණ ගීත රචක අතිපූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් එකී නව ධුරයේ වැඩ භාර ගැනීමේ පු‍ණ්‍ය මහෝත්සවය අද (11) දින පෙරවරු 6 30ට අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියසදී පැවැත්වේ.

මෙදින පෙරවරුවේ පූජ්‍ය හේමරතන හිමියන් රුවන්මැලිසෑ විහාරස්ථානයේ සිට විශේෂ පෙරහරකින් ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අභියසට වැඩම කරවීම පළමුව සිදු කෙරේ. පසුව අටමස්ථාන කාරන සභාවේ සභාපති වෛද්‍ය ජනක බුලංකුලම මහතා විසින් එහිදී අභිනව අටමස්ථානාධිපති නාහිමියන්ට පිච්ච මල් වට්ටියක් පිළි ගන්වා උන්වහන්සේ පිළිගැනීම සිදු කරන අතර, අනතුරුව අභිනව අටමස්ථානාධිපති නාහිමියන් සමන් පිච්ච මල් වට්ටියක් ජය ශ්‍රී මහ බෝ සමිඳුන් උදෙසා පූජා කිරීමෙන් අනතුරුව නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.ඒ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේය. පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි අභිනව අටමස්ථානාධිපති පදවියට පත් වීම නිමිත්තෙන් එළඹෙන 12 දා රාත්‍රියේ ජය ශ්‍රී මහ බෝ සමිඳුන් අබියසදී සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඊට අමතරව මහා විහාර පරිශ්‍රයේ කිරි ඉතිරවීමේ මංගල්‍යයක් ද පැවත්වීමට සැලසුම් කර ඇත.

Leave a Reply

Your email address will not be published.