වියට්නාම වෙරළේදී බේරාගත් ලාංකිකයන් 303ට මානුෂීය ආධාර

වියට්නාම වෙරළ තිරයේදී බේරා ගනු ලැබූ ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 303 දෙනාට මානුෂීය ආධාර ලබා දෙන බව සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

හැනෝයි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා සහ වියට්නාම රජය සමග සම්බන්ධීකරණයෙන් සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ ශ්‍රී ලංකා,වියට්නාම මෙහෙයුම් කාර්යාල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ඇතිව මෙම ශ්‍රී ලාංකිකයන් 303 දෙනාට අවශ්‍ය සහාය, ආරක්ෂාව සපයන බව එම නිවේදනයේ සඳහන් වේ.

දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට මෙන්ම නීතීන්ට යටත්ව මෙම සහාය සපයන බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.එසේම වියට්නාමය මෙම ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් 303 දෙනාට සහාය දැක්වීමට ඉදිරිපත් වීම පිළිබඳව අගය කරන බවත එම නිවේදනයේ සඳහන් වේ.

නමුත් මෙම සංක්‍රමණිකයන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අකමැත්ත ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහ කොමසාරිස්ගෙන් මෙම ගැටලුවට මැදිහත් වන ලෙස ඉල්ලීමක්ද කර ඇති බව වියට්නාම මාධ්‍ය වාර්තා කළේය.

Leave a Reply

Your email address will not be published.