රුපියල් කෝටියක දේපළ කොල්ලකෑ පරිගණක උපාධිදාරියාව අල්ලයි

කොළඹ ප්‍රදේශ රැසක සිදුවූ කොල්ලකෑම් සම්බන්ධයෙන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

25 හැවිරිදි අදාළ සැකකරු සිය උපාධිය අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් ලබාගෙන ඇති අතර ඔහුව නාරහේන්පිට කිතුල්වත්ත ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

සැකකරුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හොරයින් ග්‍රෑම් 07යි මිලිග්‍රෑම් 800ක් ද ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇත.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ කොල්ලකෑම් 25ක් සහ සොරකම් 6 සිදුකර රුපියල් කෝටියක පමණ දේපළ කොල්ලකා ඇති බවය.

වැඩිදුර විමර්ශනවලදී රුපියල් ලක්ෂ 30ක පමණ වටිනාකමකින් යුත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථන හා රන්මාල කීපයක් ද පොලීසිය විසින් සොයාගෙන ඇත. 

මහ මඟ නවතා ඇති යතුරුපැදි සොරාගෙන කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල සැරිසරමින් මාර්ගයේ තනිවම ගමන්ගන්නා කාන්තාවන් ඉලක්ක කරමින් ඔවුන් සතු අත්බෑග් කොල්ලකෑම මෙම සැකකරු කලක පටන් සිදුකර ඇති බව විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

එහිදී සැකකරු සිය පරිගණක දැනුම උපයෝගී කරගෙන අත්බෑග්වල ඇති බැංකු කාඩ්පත්වලින් මුදල් ලබාගෙන තිබේ.

සැකකරු මහරගම දෙපානම ප්‍රදේශයේදී නීතිඥවරියකගේ අත්බෑගය කොල්ලකා එහි තිබූ වටිනා ජංගම දුරකථනය ද ලබාගෙන පසුව ATM කාඩ්පතෙන් මුදල් සියල්ල ද ලබාගෙන තිබූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

නාරාහේන්පිට, වැල්ලම්පිටිය, මහරගම, කොහුවල, මිරිහාන,පිළියන්දල, මාලබේ සහ වැලිකඩ ආදී ප්‍රදේශවලදී මෙම කොල්ලකෑම් සහ යතුරුපැදි සොරකම් කිරීම් සිදුකර තිබේ.

ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබාගන්නා ආකාරයෙන් වෙළෙඳසැල් ඉදිරිපිට නවතා තිබෙන යතුරුපැදි අසල මද වේලාවක් රැඳී සිට එහි හිමිකරු ළඟපාතක නොමැති බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව යතුරුපැදි රැගෙනයෑම සිදුකර තිබේ.

සොරාගන්නා යතුරුපැදියෙන් සැකකරු කොල්ලකෑමක් සිදුකිරීමෙන් අනතුරුව එම යතුරුපැදිය මහමඟ දමා වෙනත් යතුරුපැදියකින් පළායෑම උපක්‍රමශීලි ලෙස සිදුකර ඇති බවද හෙළිවී ඇත.

Leave a Reply

Your email address will not be published.