පොළොස් කඩන්න ගිය කාන්තාවගේ සිරුර පොහොර බෑගයක තිබී හමුවෙයි

පොළොස් ගෙඩියක් කැඩීමට පොල් වත්තට ගිය අවිවාහක කාන්තාවකගේ සිරුර පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පාළු පොල් වත්තක පොහොර බෑගයක දමා තිබියදී සොයා ගෙන තිබේ.

අද (27) පෙරවරුවේ අදාළ සිරුර සොයාගත් බව මහවෙල පොලීසිය සඳහන් කරයි.

මෙසේ මියගොස් ඇත්තේ පල්ලේපොළ, මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි ආර්.ජී. රත්නාවතී නම්  55 හැවිරිදි අවිවාහක කාන්තාවක් බව පොලීසිය කියයි.

මෙම කාන්තාව මානින්ගමුව ප්‍රදේශයේ පොල් වත්තක් බලා ගෙන ඇති අතර, ඊයේ (26) හවස පොල්වත්ත පරීක්ෂාකොට පොළොස් ගෙඩියක් කඩා ගැනීම සඳහා ගොස් සිටිය දී මෙම අපරාධය සිදුවී ඇතැයි මියගිය කාන්තාවගේ සහෝදරයෙකු වූ  ආර්. ජි. ගයාන් වික්‍රමපාල මහතා පොලීසියට ප්‍රකාශ කර තිබේ.

අදාළ කාන්තාව පස්වරුවේ නිවසට නොපැමිණීම හේතුවෙන් නිවැසියන් සහ ප්‍රදේශ ප්‍රදේශවාසීන් රාත්‍රිය පුරාම කාන්තාව සෙවීමේ මෙහෙයුමක් දියත් කර ඇත.

පසුව කාන්තාව සොයාගැනීමට නොහැකි වීම හේතුවෙන් ප්‍රදේශවාසීන් කණ්ඩායම් කිහිපයකට බෙදී අනෙකුත් පොල්වතු සහ කැලෑබඳ ප්‍රදේශ සෝදිසි කරන්න ගොස් තිබේ.

එහිදී නීතිඥයෙකුට අයත් පොල් ඉඩමක අදාළ කාන්තාවගේ නිරුවත් මළ සිරුර පොහොර උරයක බහා තිබිය දී සොයාගත් බව මියගිය කාන්තාවගේ සහෝදරයා පොලීසියට පවසා ඇත.

පොහොර උරය තිබූ ස්ථානයේ තිබී කාන්තා ඇඳුම් කිහිපයක් ද, දුම්වැටි පෙට්ටියක කොටසක් සහ සැකකටයුතු තවත් දෑ සොයාගැනීමට හැකි වූ බව මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන මහවෙල පොලිසියේ ස්ථානාධිපතිවරයා පැවසීය.

කෙසේ වෙතත් මියගිය කාන්තාව ඊයේ පොල්වත්තට ගමන් කරන අවස්ථාවේ හමු වූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව වෙනත් පුද්ගලයකු පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි මහවෙල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිත ජයරත්න මහතා සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නාවුල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කොට මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගන්නා බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published.