පළාත් පාලන මැතිවරණයට නීතිපති උපදෙස්

ගැටලු කිහිපයක් මතුව පැවැතිය ද පළාත් පාලන මැතිවරණය නියමිත කාලසීමාවේ දී පැවැත්වීමට හැකියාව පවතින බව නීතිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබේ.

කෙසේවෙතත් මැතිවරණ කොමිෂන් සභාවේ ඒකමතික තීරණය අනුව මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවද නීතිපතිවරයා දැනුම් දී ඇති බව සඳහන්ය.

ඒ අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කරමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

පළාත් පාලන සීමා නිර්ණ කමිටුව හේතුවෙන් පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට මැතිවරණ කොමිසම පසුගිය දා තීරණය කරනු ලැබීය.

ඒ අනුව ඊට අදාළ නීතිපති නිර්දේශය මේ වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබේ.

පවතින තත්ත්වය මත මැතිවරණය පවත්වන්නේ නම් ජනවාරි 5ට පෙර එය අනිවාර්යෙන්ම ගැසට් මගින් ප්‍රකාශයට පත්කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් මෙම සතියේ දී පැවැත්වීමට ද නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published.