කොළඹ වරාය ජාඇළට – ජනපතිගෙන් විශේෂ තීරණයක්

කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ලංකා වාණිජ මණ්ඩලය විසින් කොළඹදී පවත්වන ලද 2022 ආර්ථික සමුළුවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

එසේම යල් පැනගිය ආර්ථික ක්‍රමවේද වෙනුවට 2050ට මුහුණදිය හැකි ශක්තිමත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදෙන බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

මේ අතර ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍යවන්නේ විදේශ විනිමය උපයාගැනීම බවද ජනපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.

මේ අතර රට ගොඩගත හැකි නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

දැනට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ණය ප්‍රතිව්‍යුගතකරණයේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන්දියාවත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථක බවත් පැවසීය.

චීනය සමඟ පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ප්‍රමාද වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවැති නිසා බවත් මේ වන විට එම සමුළුව අවසන් ව ඇති බැවින් එම සාකච්ඡා කඩිනම් වනු ඇති බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ලබන වසරේදී චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ජනාධිපතිවරයා චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව ද පැවසීය. ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ණය මුදල ලබන වසරේදී ලබාගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

අනාගතය සඳහා හරිත හයිඩ්‍රජන් අංශය කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සූර්ය බලශක්ති කර්මාන්තයට වඩා විශාල විභවයක් ඇති හරිත හයිඩ්‍රජන් කෙරෙහි පෞද්ගලික අංශය අවධානය යොමු කළ යුතු බව ද පැවසීය.

ඉඩම් නීති ද නැවත සලකා බලා ආයෝජකයන්ට වඩාත් ප්‍රවේශ විය හැකි පරිදි පවතින නීති වෙනස්කම් සිදු කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පළමුව කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බවත් දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලබාදිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජපානය පළමුවෙන්ම එම කටයුත්ත සඳහා සම්බන්ධ වූ බවත් සිහිපත් කළේය. ‍

කෙසේ වුවත් දැනට සිදු කරන ආකාරයට කුඩා වරායක් පවත්වාගෙන යාමෙන් ආර්ථිකයට විශාල සේවයක් සිදු නොවන බවත්, උපායමාර්ගික ලෙස වරාය ප්‍රවර්ධනය කර ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

Leave a Reply

Your email address will not be published.