ස්විට්සර්ලන්තයට එරෙහිව පෘතුගාලයට විශිෂ්ට ජයක්

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් 16 දෙනාගේ වටයේ තවත් තරගයක් පෘතුගාලය සහ ස්විට්සර්ලන්තය අතර පැවැත්වුණි.

එම තරගයේදී පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ තරගයට ක්‍රීඩා නොකළ අතර ඔහු වෙනුවට නවක ක්‍රීඩකයෙක් කණ්ඩායමට කැඳවීමට පෘතුගාල පුහුණුකරු තීරණය කර තිබුණි.

රොනාල්ඩෝ වෙනුවට කණ්ඩායමට කැඳවූයේ 21 හැවිරිදි ගොන්සාලෝ රාමෝස් ය.

පෘතුගාලය වෙනුවෙන් පළමු ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ රාමෝස් 17 වැනි මිනිත්තුවේදී ක්‍රියාත්මක වෙමින් පෘතුගාලය වෙනුවෙන් ගෝලයක් රැස්කිරීමට සමත්වුණේ සිය පුහුණුකරුගේ තීරණයට පූර්ණ සාධාරණය ඉෂ්ඨ කරමිනි.

ඉන් නොනැවතුණු රාමෝස් 51 වැනි මිනිත්තුවේදී සහ 67 වැනි මිනිත්තුවේදී ගෝල දෙකක් රැස්කිරීමට සමත්වූයේ මෙවර ලෝක කුසලාන තරගාවලියේ වාර්තා වූ පළමු ගෝල ත්‍රිත්වය වාර්තා කරමින්.

ඒ සමග ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගයකදී බ්‍රසීල හිටපු සුපිරි පාපන්දු ක්‍රීඩක පේලේ ට පසුව ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ ලාබාලතම ක්‍රීඩකයා ලෙස පෘතුගාලයේ ගොන්සාලෝ රාමෝස් වාර්තා අතරට එක්වුණි.

පෘතුගාලය වෙනුවෙන් තවත ගෝල 3ක් වාර්තා කිරීමට තවත් ක්‍රීඩකයන් තිදෙනෙක් සමත්වෙද්දී ස්ව්ට්සර්ලන්තයට රැස් කරගත හැකිවූයේ එක් ගෝලයක් පමණි.

ඒ අනුව ගෝල 6 ට 1 ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කළ පෘතුගාලය අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

පෘතුගාලය අර්ධ අවසන් පූර්ව වටයේදී මොරොක්කෝව සමග තරග වැදීමට නියමිතය.

අවසන් 16 දෙනාගේ වටයේ තරග අදින් අවසන්වන අතර අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙසැම්බර් 9 වනදා ආරම්භවීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published.