මත්තලට වැය කළ මුදල් වතුරේ

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ වියදම (මෙහෙයුම් පිරිවැය ) රුපියල් කෝටි 200 ඉක්මවා ඇතත් එම වියදම ආදායමට වඩා විසි ගුණයකින් පමණ වැඩි බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වේ.

එසේම මෙම ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා වැය කරන ලද රුපියල් කෝටි 3656 කට වැඩි මුදල ඵලදායී ලෙස භාවිතා කර නැතැයිද එහි දැක්වෙයි.

මත්තල ගුවන් තොටුපොළ 2021 වර්ෂයේ දී බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් කෝටි 400 ක් වූ අතර 2017 වසරේ සිට 2021 වසර දක්වා බදු ගෙවීමෙන් පසු ශුද්ධ අලාභය රුපියල් කෝටි 2000කට වැඩි බව විගණන අංශ ප්‍රධානීහු පෙන්වා දෙති.

එම ගුවන් තොටුපොළේ අපේක්ෂිත වාර්ෂික මගී ධාරිතාව ලක්ෂ දහයක් වුවත් පසුගිය වසර පහ තුළම පැමිණ ඇත්තේ මගින් අනූ එක් දහස් හත් සිය හතළිස් හතක් පමණක් බව පවසන විගණන වාර්තාව ගුවන් තොටුපළ ආශ්‍රිතව පසුගිය වසර පහේදී සිදුව ඇත්තේ ගුවන් ගමන් 2396 ක් පමණක් බවද සඳහන් කරයි.

තවද ගුවන් තොටුපොළ ඉදිකිරීම සඳහා ලබාගත් ඇමරිකානු ඩොලර් කෝටි 19 ක ණය සඳහා පොලිය ඇතුළුව වාර්ෂික ණය වාරිකය ලෙස රුපියල් කෝටි 261 ට වැඩි මුදලක් සමාගම විසින් ගෙවනු ලැබ තිබූ බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published.