අනුරාධපුර දිස්ත්‍රික්කයේ දරුවන් විශාල පිරිසකට මන්දපෝෂණය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 13,000කට අධික සංඛ්‍යාවක් දැඩි ආහාර ආනාරක්ෂිතතාවකින් පෙළෙන බව අනාවරණ වී තිබේ.

පසුගියදා පැවති ආහාර රක්ෂිතතාව පෝෂණය සඳහා වන උතුරුමැද පළාත් සැලසුම් කමිටුවේදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ එම දිස්ත්‍රික්කයේ දරුවන් 900 කට අධික පිරිසක් මන්දපෝෂණයෙන් පෙළෙන බවය.

ආහාර රක්ෂිත තාව හා පෝෂණය සඳහා වන උතුරු මැද පළාත් සැලසුම් කමිටුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා ශ්‍රවණාගාරයේදී පසුගියදා රැස්වුණි.

අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ සුගත් නයනානන්ද මහතා එහිදී පෙන්වා දී ඇත්තේ දිස්ත්‍රික්කයේ පවුල් 13,597 ක් දැඩි ආහාර අනාරක්ෂිතතාවයෙන් පෙළෙන බවය.

මේ පසුබිම තුළ සිය දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බව අනුරාධපුර නොච්චියාගම ලිංගල ප්‍රදේශයේ පවුල් කිහිපයක ජනතාව පෙන්වා දෙනවා.

නොච්චියාගම ලිංගල ජනතාව මෙලෙස අදහස් දැක්වීය.

“දරුවා අඩු බරට ඇවිත් තියෙනවා. කන්න දෙන්න දෙයක් නෑ බිත්තරයක්වත්.”

ඔවුන් පවසන්නේ පවතින ආර්ථික අර්බුදය හමුවේ පෝෂ්‍යදායී ආහාර දරුවන්ට ලබාදීමට නොහැකිව තමන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවය.

“බලන්න මේ ළමයින්ගේ හැටි. අපිට බිත්තරයක්වත් කෑමට දී ගන්න බෑ. මස් මාළු ටිකක්වත් දෙන්න බෑ… තුන්වේලක් කන්න දෙන්න ඕනේ තැන එක වේලක්වත් හරි කෑමක් දෙන්න නෑ. උයාගන්නවත් කිසිම දෙයක් නෑ.”

Leave a Reply

Your email address will not be published.