ව්‍යාජ විදෙස් රැකියා ආයතනයක් පැවැත්වූ අඹුසැමි යුවළ අත්අඩංගුවට

අධ්‍යාපන කටයුතු සඳහා තරුණ තරුණියන්ට පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා ව්‍යාජ විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන ගිය අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමක දී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව එම කාර්යංශය පැවසුවේය.

තිඹිරිගස්යාය ප්‍රදේශයේ මෙම ව්‍යාජ රැකියා නියෝජිතායතනය පවත්වාගෙන ගොස් ඇති අතර, පෝලන්තයේ හා තුර්කියේ රැකියා ලබාදෙන බව පවසා එක් පුද්ගලයෙකුගෙන් රුපියල් 555,000 බැගින් මුදල් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 11ක් ලැබී ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී, විදේශ ගමන් බලපත්‍ර 11ක්, කුවිතාන්සි පොත් 4ක්, ප්‍රචාරක අත්පත්‍රිකා 50ක් ඇතුළු ලිපි ලේඛන රැසක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන ඇති බව සඳහන්ය.

Leave a Reply

Your email address will not be published.