මඟ නැගුම කිරිබත් ප්‍රහාරයේ සැකකරුවන් ට ඇප

ඊයේ (02) පෑලියගොඩ  මඟ නැගුම කාර්යාලයේ පැවති නව අවුරුදු සැමරීමේ උත්සවයට සහභාගි වූ එහි සභාපතිවරයා සහ විධායක අධ්‍යක්ෂවරයා අයුතු ලෙස සිරකර තැබීම, තර්ජනය කිරීම ඇතුළු සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 4 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

පෑලියගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් හතර දෙනා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු එම නියෝගය නිකුත් කළේය.

සිද්ධියට අදාළව එම ආයතනයේ සේවකයින් පිරිසක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන හෙයින් මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහෙත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කළේ සභාපතිවරයා අදාළ ආයතනයේ සේවකයන්ගේ දුක්ගැනවිලිවලට කන් නොදීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවය.

මෙම සිද්ධිය පිටුපස කිසිදු කුමන්ත්‍රණකාරී තත්ත්වයක් නොමැති හෙයින් තම සේවාදායකයින් ඇප මත මුදා හරින ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉන් අනතුරුව අදාළ සැකකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඉන් අනතුරුව පැමිණිල්ල ලබන 16 වනදා කැඳවීමට ද නියම විය.

Leave a Reply

Your email address will not be published.