ඡන්දෙට පෙර කෘෂි ඇමති රජයෙන් කළ ඉල්ලීම

මැතිවරණවලට මුදල් වියදම් කරන්නට පෙර ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා වහා මුදල් ලබා දෙන්නැයි රටේ බත් කන ජනතාව වෙනුවෙන්  රජයෙන් සහ මුදල්  අමාත්‍යංශයෙන් ඉල්ලා සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

සාධාරණ මිලකට ගොවීන්ගේ වී මිලදී ගෙන පාරිභෝගිකයන්ට ද සහන සැලසූ පසුව ඕනෑම මොහොතක මැතිවරණ පවත්වා ගන්නා ලෙස ද අමාත්‍යවරයා කීය.

මෙවර මහ කන්නයේ දී හෙක්ටයාර  ලක්ෂ 8ක වී වගා කර තිබෙන අතර පසුගිය යල කන්නයේදී හෙක්ටයාර් පන්ලක්ෂ 12,000 ක වී වගා කර තිබෙන බව කී අමාත්‍යවරයා ගොවීන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති නොවන පරිදි එම වී මිලදී  ගන්නා ලෙස ජනාධිපතිවරයා ද උපදෙස් දී තිබෙන බව සඳහන් කළේය.

වී මිලදී ගැනීම වැනි ප්‍රමුඛතා කාර්යයක් තිබියදී ඡන්ද පවත්වන්නැයි විපක්ෂය කියමින් සිටින බවත් මැතිවරණයක් පැවැත්වීමට යන රුපියල් බිලියන 10 ක මුදල වී මිලදී ගැනීම සඳහා ලබා දුන්නොත් සාධාරණ මිලකට ගොවීන්ගෙන් වී ගැනීමට රජයට හැකියාව ලැබෙන බවත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

මැතිවරණ ඉල්ලන්නේ ජනතාව නොව දේශපාලන පක්ෂ බව කී අමාත්‍යවරයා ජනතාව ඉල්ලන්නේ ජීවන වියදම අඩු කිරීම බවද රජයේ අරමුණ වන්නේ ජනතා ඉල්ලීම ඉටු කිරීම බව ද බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

කොළඹදී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් කරමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published.