පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරු මානසික ආබාධයකින් ?

පාස්කු ඉරුදින ප්‍රහාරය කුමන්ත්‍රණය කිරීම සහ තවත් චෝදනාවන්ට අදාළව නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහි නඩු විභාගය හෙට (05) දිනය දක්වා කල්තැබීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

ඒ අනුව, විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය හෙට දින ප්‍රකාශයට පත්කරන බව දමිත් තොටවත්ත, අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර ඇත.

එම අවස්ථාවේ නඩුවේ 14 වන විත්තිකරු වශයෙන් නම් කර සිටින ඊබ්‍රහිම් මවුලවි නමැත්තා බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔවුන් අධිකරණයට දැනුම්දුන්නේ විත්තිකරු අසනීපවී නුවර බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබන බවය.

ඒ අනුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් බන්ධනාගාර වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගෙන හෙට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසද විනිසුරු මඩුල්ල විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කර තිබබේ.

ඊට අමතරව නඩුවේ 13 වන විත්තිකරු මානසික ආබාධයකින් පෙළෙන අතර ඔහු සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවන ලෙස මීට පෙර නියම කර තිබුණද එම වාර්තාව ලැබී ඇත්ද යන්න සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් විමසා සිටියේය.

ඒ අනුව අදාළ විත්තිකරු නඩු විභාගයට මුහුණ දීමට තරම් සුදුසු මානසික තත්වයක පසුවන්නේ දැයි පරීක්ෂා කර බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද විනිසුරු මඩුල්ල විසින් බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර තිබේ.

අදාළ නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා රාජ්‍ය බුද්ධි ප්‍රධානී යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා අධිකරණයේ පෙනී සිටි අතර ඔහුට යළි නොතීසි ලද අවස්ථාවක පෙනී සිටින ලෙස විනිසුරු මඩුල්ල දැනුම්දී ඇත.

Leave a Reply

Your email address will not be published.