දකුණේ ATM වංචාවට අත්අඩංගුවට ගත් සැකකරුවන් රිමාන්ඩ්

ATM යන්ත්‍ර 3ක් කඩා රුපියල් ලක්ෂ 110 කට ආසන්න මුදලක් සොරාගත් බල්ගේරියානු ජාතිකයින් දෙදෙනා, කැනේඩියානු ජාතිකයා සහ ඔවුන්ට සහාය දුන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ජනවාරි මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

අත්අඩංගුවටගත් සැකකරුවන් පස්දෙනා බද්දේගම මහසේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම නියෝගය ලබාදී ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, කරාපිටිය සහ හික්කඩුව යන ප්‍රදේශවල රජයේ බැංකුවකට අයත් ATM යන්ත්‍ර තුනක් කඩා එහි තැන්පත් කර තිබූ රුපියල් ලක්ෂ 110කට ආසන්න මුදලක් යම්කිසි පිරිසක් විසින් සොරාගැනීමේ සිදුවීමක් පසුගිය දෙසැම්බර් 30වනදා වාර්තා විය.

ඒ අනුව විමර්ශන ඇරඹූ එම කොට්ඨාසයේ  නිලධාරීන්, පළමුව සිද්ධිය සිදු වූ ප්‍රදේශයේ සීසීටීවි කැමරා 79ක් විශ්ලේෂණය කරන අතර එහිදී අනාවරණ වන්නේ විදේශිකයන් දෙදෙනෙකු විසින් අදාළ මුදල් සොරකම සිදුකරන බවය.

පසුව ඔවුන් දෙදෙනා සහ අදාළ සොරකමට අනුබල දුන් මීගහතැන්න පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.