රත්නපුර සමන් දේවාලයේ පඬුරු ගබඩාවට හොරු පනී

සබරගමුව මහ සමන් දේවාලයේ පඬුරු ගබඩාවට ඇතුළු වූ සොරුන් පිරිසක් එහි ගෝනිවල දමා තිබූ ලක්ෂ ගණනක වටිනාකමින් යුත් මුදල් නෝට්ටු සොරාගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

අදාළ පඬුරු ගබඩාව දේවාලයේ බස්නායක නිළමේවරයාගේ නිල නිවසේ කොටසක ඉදිකර තිබෙන අතර, එයට යකඩ ආවරණයක් ද දමා ඇත.

එසේ තිබිය දී පඬුරු ගබඩාවේ වහලය, සිවිලිම හා යකඩ දැල් ආවරණය කඩා සොරුන් ඊට ඇතුළු වී ඇතැයි අනාවරණය වී තිබේ.

එම සොරකම සිදුව ඇත්තේ පොලිස් මුරපොළක් හා පැය 24 පුරා ක්‍රියාත්මක CCTV කැමරා 60ක් සවිකර තිබූ පසුබිමක වීම විශේෂත්වයකි.

කෙසේ වෙතත් අප කළ විමසීමක දී බස්නායක නිළමේවරයා සඳහන් කර සිටියේ, පඬුරු කුටියට ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරියෙක් ලබාදෙන ලෙස තමා කිහිපවතාවක් රත්නපුර පොලීසියට ලිඛිත ඉල්ලීම් සිදුකළ බවය.

සබරගමුව මහ සමන් දේවාලයට අයත් ප්‍රධාන පඬුරු පෙට්ටි 5ක් ඇති අතර, එම පෙට්ටි පිරී ගිය පසුව ගෙන ගොස් අදාළ පඬුරු ගබඩාවේ තැන්පත් කරනු ලබයි.

පසුව එම පඬුරු බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හා බස්නායක නිළමේවරයාගේ අධීක්ෂණය යටතේ නෝට්ටු හා කාසි ලෙස වෙන්කර තබා බැංකුවට රැගෙන යනු ලබයි.

බැංකුවට රැගෙන යනු ලබන්නේ හා මුදල් ගණනය කිරීම සිදුකරනු ලබන්නේ අදාළ රාජ්‍ය බැංකුවෙන් වන අතර බැංකු නිලධාරීන් පැමිණෙන තුරු මෙවර දින තුනකට ආසන්න කාලයක් පඬුරු ගබඩාව තුළ පඬුරු ගෝනි තැන්පත් කර තිබුණු අවස්ථාවේ දී මෙම සොරකම සිදුව ඇත.

සොරුන් විසින් නෝට්ටු සහිත ගෝනි පමණක් රැගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ මිගාර ජයසුන්දර බණ්ඩාර මේ සම්බන්ධයෙන් කියා සිටියේ, මීට පෙර පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 4 වන දින හා 10 වන දින දෙකේදී මෙම මුදල් ගබඩාවට ඇතුළුවීමට හොරු උත්සාහ කර තිබූ බවය.

බස්නායක නිළමේවරයාගේ නිල නිවස ඉදිරිපිට පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන පොලිස් මුරපොළක්ද, දේවාලයේ ආරක්ෂාවට මුරකරුවෝ ද, සීසීටිවී කැමරා 60ක් ද සවිකර ඇති පසුබිමක මෙම සොරකම සිදුව ඇත.

කෙසේවෙතත් අදාළ සොරකමෙන් අනතුරුව පොලිස් මුරපොළේ රාජකාරි කරමින් සිටි නිලධාරීන් වෙනත් පොලිස් ස්ථානයක් වෙත මාරු කර යවා ඇතැයි ද වාර්තා වේ.

මෙම සොරකම සම්බන්ධයෙන් අදහස් දැක්වු ගම්වාසීන්,

“මේවා පාලකයින්ගේ වැරදි. දැන් මාස 6ක් 7ක් වෙනවා කැමරා පද්ධතිය සවිකළා කැමරා 60ක්. ඒවා නඩත්තු කරලත් නෑ. පේන්නෙත් නෑලු. මේ හොරකම වුණ එක ගැන අපිට අදහා ගන්න බෑ. බලධාරීන් මේවා බලන්න ඕනේ. පොලීසිය කිසිම දෙයක් නෑ. පොලිස් මුරපොළක් තියෙනවා කිසිවැඩක් නෑ. කෑවා නිදි. මේවා ගැන බලධාරීන් බලන්න. නැත්නම් සමන් දේවාලයත් කඩාගෙන අරන් යයි. දෙයියෝ අදහස මිනිස්සුන්ට නිකන් වැඳලා යන්න වෙන්නේ. හොරු අරන් ගියොත්.”

“අපි ගම්වාසීන් විදියට කියන්නේ අනිවාර්යයෙන්ම සැකකරුවන්ව අත්අඩංගුවට ගත යුතුයි. නැත්නම් තරුණයෝ විදියට අපිටත් ගමේ ජීවත්වෙන්න හැකියාවක් නෑ. දේවාලේ ඇතුළේ පුරාණ ආභරණ තියෙනවා. මේවා නැතිවෙන්න ඉඩ තියෙනවා බලධාරීන් නිසි ක්‍රියාමාර්ග ගත්තේ නැත්නම්.”

“කාලයක් තිස්සේ හොරකම් ගණනාවක් සිද්ධවුණා. නමුත් පැහැදිලි වශයෙන් කවුරුත් එකකටවත් අත්අඩංගුවට ගත්තේ නෑ. ඇත්තටම නොගත්තේ සමන් දෙයියෝ දඬුවම් දෙනකල් ද?  නැත්නම් ඇත්තටම හොයන්න බැරි නිසා ද? කියන එක අපිට විශාල සැකයක්.”

Leave a Reply

Your email address will not be published.