රුපියල් කෝටි 11 කට අධික රත්රන් තොගයක් සූක්ෂම ලෙස සඟවා ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ආ කාන්තාවක් අද (14) කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට පත්වුණි.
ඉන්දීය බුද්ධි අංශ මගින් ශ්‍රී ලංකා රේගුවේ ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත අද අලුයම එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබුණි.
ඇය ඩුබායි සිට ඉන්දියාවේ චෙන්නායි හරහා මෙරටට පැමිණ තිබේ.
මෙම කාන්තාවගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒ තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ රත්රන් තොගයක් සොයා ගන්නා ලද අතර එම රත්රන් තොගය අතර කැරට් 24 මාල, මුදු සහ වළලුවලින් සමන්විත ස්වර්ණාභරණ තොගයක්, කැරට් 24 රත්රන් තහඩු 27ක් සහ ද්‍රව රත්රන් අඩංගු කැප්සුල් 8ක්ද සොයා ගනු ලැබීය.
එම ස්වර්ණාභරණවල ඉතා සූක්ෂ්ම ලෙස රිදී ආලේප කර තිබුණ අතර රන් තහඩු බැංකු කාඩ්පත් ලෙස සකස් කර තිබුණි.
මෙම ස්වර්ණාභරණ සහ රන් තහඩුවල මුළු බර ග්‍රෑම් 4,892 ක් වූ අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 11 කට අධිකය.
සැකකාරිය වන ගම්පහ ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි කාන්තාවකි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයෙන් ගුවන් ගමන ආරම්භ කර තිබුණ ඇය ඉන්දියාවේ චෙන්නායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට අද අලුයම මෙරටට පැමිණ තිබුණි.