අදත් විරෝධතාවල නිරතවන බවට අන්තරෙන් ප්‍රකාශයක්

මරදාන එල්ෆින්ස්ටන් රඟහල අසල විරෝධතාවේ නිරතව සිටි පිරිසක් විසුරැවා හැරීම සඳහා ඊයේ (03) රාත්‍රියේ පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළේය.

විරෝධතාකරුවන් ඊයේ පස්වරුවේ සිට එල්ෆින්ස්ටන් රඟහල ඉදිපිට විරෝධතාවයේ නිරත විය.

පසුව උසස් පොලිස් නිලධාරියෙකු පැමිණ එම ස්ථානයෙන් ඉවත් වන ලෙස විරෝධතාකරුවන්ට දැනුම් දුන් අතර ඒ සමඟ එම ස්ථානයේ රැඳී සිටි නීතිඥ නුවන් බෝපගේ සහ පොලිස් නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි.

අනතුරුව පොලීසිය අදාළ අධිකරණ නියෝගය ශබ්ද විකාශන යන්ත්‍ර ඔස්සේ විරෝධතාකරුවන්ට දැනුම් දී ඇත.

කෙසේ වෙතත් එම දැනුම්දීම් වලට ද විරෝධතාකරුවන් අනුගත නොවීම හේතුවෙන් ඔවුන් විසුරා හැරීමට රාත්‍රී 9.00ට පමණ පොලීසිය කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කර තිබේ.

මේ අතර අද (04) දිනයේ නිදහස් උත්සවයට එරෙහිව විරෝධතාවක් සංවිධානය කරන බව අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් කොල්ලුපිටිය, කොම්පඤ්ඤවීදිය සහ කොටුව පොලිස්බල ප්‍රදේශයට අයත් මාර්ග කිහිපයකට විරෝධතාකරුවන්ට ඇතුළුවීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් ලබා දී තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් දුම්න්ද නාගමුව, ගල්වැව සිරිධම්ම හිමි, ජෝෂෆ් ස්ටාලින් ඇතුළු පිරිසකට එරහිව මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලීසිය දැන්ම් දී ඇත.

අද (04) පෙරවරුවේ පැවැත්වෙන නිදහස් දින උළෙලේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කරමින් මෙම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published.