පවුල් ආරවුලට ගෙයක් ගිනි තියලා

දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් අලුබෝමුල්ල මහබෙල්ලන කොස් කහවත්ත ප්‍රදේශයේ නිවසකට ගිනි තබා විනාශ කර ඇතැයි අලුබෝමුල්ල පොලීසිය පවසයි.

එම ගිනි තැබීමෙන් නිවස තුළ සියලුම දේපළ විනාශ වී ඇති අතර නිවසේ සුරතලයට ඇති කරන ලද “ටිමී” නැමති සුනඛයාද ගිනි තැබීමට පැමිණි පුද්ගලයන් ගින්නට විසි කර මරා දමා ඇතැයි අසල්වැසියෙක් කියා සිටියේය.

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත එම නිවසේ පදිංචි දැරියකගේ සියලුම පොත් පත් ගින්නට හසුව විනාශ වී ඇතැයි ද පොලීසිය පැවසීය.

නිවසට ගිනි තිබූ තැබූ බව කියන ත්‍රීරෝද රථ රියදුරන් වන පිය පුතු දෙපළක් පොලිස් ආරක්ෂාව යටතේ පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාගෙන් පුතු එම නිවසේ පදිංචි තරුණිය සමග විවාහ වී සිට ඇති අතර වසරකට ඉහතදී පවුල් ආරවුලක් හේතුවෙන් වෙන්වී ඇතැයි පොලීසිය පැවසීය.
 
මේ වන විට දික්කසාද නඩුවක් අධිකරණයේ විභාග වෙමින් පවතින බව ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඊයේ (20) දහවල් අත්අඩංගුවේ පසුවන සැකකාර පිය පුතු දෙපළට පිරිසක් විසින් අලුබෝමුල්ල ප්‍රදේශයේ දී පහර දුන් බව පවසමින් පොලීසියට පැමිණිල්ලක් කර අධිකරණ වෛද්‍ය පෝරම රැගෙන රෝහල් ගතවන බවට පවසා පිටව ගොස් එම නිවසට ගිනි තබා අනතුරුව රෝහල් ගත වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

අදාළ පහරදීම සම්බන්ධයෙන් ද සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලීසිය සඳහන් කරයි. 

අලුබෝමුල්ල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Your email address will not be published.