තවත් අක්‍රමිකතාවක් ගැන විගණකාධිපතිගෙන් හෙළිදරව්වක්

ලංකා විදුලිබල මණ්ඩලය එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගම මිලදී නොගැනීම තුළින් රජයට බරපතල අවාසියක් සිදුව ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් විදුලිය මිලට ගැනීම පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වමින් විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ බලාගාරය මිලදී ගැනීම පිළිබඳව නැවත සමාලෝචනයක් සිදුකිරීම අවශ්‍ය බවය.

මෙරට විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා එස්. පවර් ඇඹිලිපිටිය පුද්ගලික සමාගමෙන් 2005 වර්ෂයේ අප්‍රේල් 06 වන දින සිට වසර 10ක කාලයක් සඳහා විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය සමග ගිවිසුමක් අත්සන් කර තිබුණි.

අදාළ ගිවිසුම අවසන් වූ පසු 2016 මාර්තු 23 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය මෙම බලාගාරය ලංකා විදුලි බල මණ්ඩලය විසින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙසට උපදෙස් ලබාදී තිබේ.

කෙසේවෙතත් එම බලාගාරය මිලදී ගැනීම සඳහා රජයේ තක්සේරුකරු විසින් එහි වටිනාකම රුපියල් මිලියන 2,370ක් ලෙස ගණනය කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

එහෙත් බලාගාරයේ හිමිකරු විසින් එය අලෙවි කිරීම සඳහා රුපියල් මිලියන 2,446ක මිලක් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බැවින් එය මිලදී නොගැනීමට තීරණය කර තිබේ.

නිවැරදිව තක්සේරුව සිදුකළේනම් බලාගාරයේ වටිනාකම රුපියල් මිලියන 4,176කට ආසන්න අගයක් විය යුතු බවට විගණනය මගින් නිරීක්ෂණය වී ඇති බව අනාවරණය වේ.

අදාළ බලාගාරය මිලදී ගැනීමකින් තොරව 2016 වර්ෂයේ සිට විදුලිය මිලදී ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් ගතව ඇති අතර එමගින් විශාල මුදලක් සමාගම වෙත ගෙවීමට සිදුව ඇති බව වාර්තා විය.

රජයේ තක්සේරුකරු විසින් අදාළ සමාගම තක්සේරු කිරීමේදී අවධානයට ලක්කළ යුතු කරුණු සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් සහ නොසැලකිලිමත්භාවය හේතුවෙන් නිවැරදි තක්සේරු වටිනාකමට වඩා අඩු වටිනාකමක් ලැබී ඇති බවට විගණනය මගින් හෙළිවී තිබේ.

මෙම තත්ත්වය පිළිබඳව අවධානය යොමුකර වගකිව යුතු පාර්ශවයන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව සුදුසු පියවර ගැනීම සිදුකළ යුතු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව සිය වාර්තාව මගින් පෙන්වා දී ඇත.

Leave a Reply

Your email address will not be published.