යාපනය නගරාධිපති යළි ඉවත් වේ

යාපනය මහ නගර සභාව සඳහා අභිනවයෙන්පත්වූ නගරාධිපති එමානුවෙල් ආර්නොල්ඩ් මහතා  2023 වර්ෂය සඳහා දෙවනවර සංශෝධන සහිතව මහනගර සභාව වෙත ඉදිරිපත් කළ අයවැය  ජන්ද හයකින්  පරාජයට පත්වීමත් සමඟ සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව නගරාධිපතිවරයා නිවේදනය කළේය.

දෙවන වරට ඉදිරිපත් කළ  අයවැය වෙනුවෙන් පක්ෂව ඡන්ද 16ක් හා විපක්ෂව ඡන්ද 22 ලැබී තිබුණි.

යාපනය මහ නගර සභාව වෙත පසුගිය වසරේ දෙසැම්බර් මස සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජනය කළ එවකට නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා විසින් 2023 වර්ෂය  ඉදිරිපත් කළ අය වැය වාර්තාව දෙවරක් පරාජයට පත්වීමත් හේතුවෙන් නගරාධිපතිවරයාට එම ධූරයෙන් ඉවත්වීමට සිදුවිණ.

පළාත් පාලන පනතේ විධිවිධාන මත මහ නගර සභාව වෙත නව නගරාධිපතිවරයකු තොරාගන්නා ලෙස පළාත් පාලන කොමසාරිස්වරයා දන්වා සිටි අතර ඒ අනුව දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ හිටපු නගරාධිපති එමානුවෙල් ආර්නෝල්ඩ් මහතා යළිත්වරක් ජනවාරි 20 වැනිදා නගරාධිපති ලෙස නිතරඟයෙන් තේරිපත්විය.

නව නගරාධිපතිවරයා පත්වී මාසයක් ඇතුලත 2023 වර්ෂය වෙනුවෙන් අයවැය යෝජනාව සභාවට ඉදිරිපත් කළ අතර දෙවරක් පරාජයටපත්වීමත් සමඟ තමා තවදුරටත් නගරාධිපති ධූරයේ නොසිටින බවත් ඉන් ඉවත්ව සුදුස්සකු පත්කරන ලෙස පළාත් පාලන කොමසාරිස්වරයාවෙත දැණුම්දෙන බවත් ප්‍රකාශකොට සභාවේ සභිකයකු ලෙස අසුන්ගන්නා බවට මන්ත්‍රීවරන් වෙත දැණුම්දෙනු ලැබීය.

Leave a Reply

Your email address will not be published.